කබඩි රන් පදක්කම් උතුරු මැදට සහ බස්නාහිරට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන්න | දිනමිණ

කබඩි රන් පදක්කම් උතුරු මැදට සහ බස්නාහිරට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන්න

ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට කියයි

 රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණබවත්, දේශපාලනඥයන්, පරිපාලන නිලධාරින් ඇතුළු අප සියලු දෙනා ඊට පිළිතුරු දිය යුතු බවත්, අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමඟ අද (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.

අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසන්ධානය, රාජ්‍ය සේවයේ කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනින් පසුව ආර්ථිකය පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අය වැයෙන් සහ 2023 අය වැයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා නීති සංශෝධන මෙන්ම ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීම් යටතේ ඉදිරිපත් කළ යුතු සහ සංශෝධනය කළයුතු පනත් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. යම් යම් කටයුතු සඳහා මුදල් දීමට පසුගිය කාලයේ අමාත්‍යාංශවලට සිදු වුණා. එයින් සිදු වුණේ ජනතා මුදල් අපතේ යෑම පමණයි. රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි. දේශපාලනඥයන්, පරිපාලන නිලධාරීන් අප සියලු දෙනා ඊට පිළිතුරු දිය යුතුයි. වුණ දේ වුණා. එහෙත් මෙය අපට ආපසු හැරවිය හැකියි.

“1977 දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10ක් යන කොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාර ගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.

අපේ ප්‍රධාන කාර්යයක් වන්නේ රජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙම සියලු සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙනවා. මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා අපි රජය යටතේ තබා ගනිමු. ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත දිය යුතුයි. ඒ නිසා මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහාය දෙන්න කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

“දැන් තරුණ සේවා සභාව මඟින් සිදු කරන්නේ පුහුණු කිරීම් විතරයි. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. මේ ආයතන දෙකම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මේ දීප ව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනය වීම වඩාත් හොඳයි. ඒ නිසා රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේද කියා අමාත්‍යාංශ තීරණය කළ යුතුයි. එහි ප්‍රගතිය තව මාසයකින් විමසා බැලීමට මම අපේක්ෂා කරනවා.

“පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම බිම් මට්ටමින් බලය බෙදැහැරීම පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තීරණ ගැනීමට සිදු වෙනවා. අපි එම කටයුතු අවසන් කරමු.

අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කළ හොත් අපි මෙය පළාත් සභාවලට දෙන්න තමයි සැලසුම් කළේ. එහෙත් එය අනිත් පැත්තට සිදුව තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මයෙන් කොටසක් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, කොටසක් කරන්නේ පළාත් සභාවෙන්. ඇයි අපට මෙය පළාත් සභාවට භාරදිය නොහැකි. මේ බලතල ජාතික අමාත්‍යාංශය යටතේ තබා ගත යුතුයි කියා කොතැනවත් සඳහන් වෙලා නැහැ. මෙය දුන්නොත් ජාතික අමාත්‍යාංශයට පළාත් සභා පාලනය කළ හැකියි.

“අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත් කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි. ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳාම හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

“පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අප ශීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සඳහා අප 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.“

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරුද මීට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න