සිංගප්පූරු නැවක් කොළඹ වරායට | දිනමිණ

සිංගප්පූරු නැවක් කොළඹ වරායට

 

සිංගප්පූරුවට අයත් VAN HAI නෞකා ජාලයේ VAN HAI A 10 නෞකාව සිය ප්‍රථම ආගමනය සනිටුහන් කරමින් කොළඹ වරායට සේන්දු වී තිබේ.

එය අග්නිදිග ආසියානු කලාපයේ සිට අමෙරිකා එක්සත් ජනපදය වෙත ඍජු සේවා සැපයීම වෙනුවෙන් ආරම්භ වූ නව සේවාවක් වන අතර, VAN HAI A 10 නෞකාව කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලු පර්යන්තය (CICT) වෙත පැමිණීම වෙනුවෙන් වූ පිළිගැනීම වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පර්යන්තයේ දී පැවැත්විණි.

ඇමැතිවරයා හා නෞකාවේ කපිතාන් ක්ෂියෝමින්ග් (HU XIAOMING) මහතා අතර නෞකාව කොළඹ වරායට පැමිණීම වෙනුවෙන් වූ සිහිවටන හුවමාරුවක් ද සිදු විය.

මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කළේ කොළඹ වරායේ සැලසුම්සහගත කෙටිකාලීන හා දිගුකාලීන සංවර්ධන උපාය මාර්ග හේතුවෙන් කොළඹ වරාය වෙත නව නෞකා සේවා ආකර්ෂණය වෙමින් පවතින බවයි. මේ තත්ත්වය වඩාත් පුළුල් කිරීම වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියත් පෞද්ගලික අංශයත් එක්ව කටයුතු කරමින් සිටින බවත් පැවසීය.

ඒ අනුව කොළඹ වරායේ මේ වන විට විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් සිදු වෙමින් පවතින අතර, එම ව්‍යාපෘති නියමිත කාලයේදී අවසන් වීමත් සමඟ බහාලු නෞකා පමණක් නොව මගී නෞකා, සේවා නෞකා, භාණ්ඩ නෞකා වැනි සියලු ආකාරයේ නෞකා සඳහා සේවා සපයන ආසියාවේ කේන්ද්‍රීය වරායක් බවට කොළඹ වරාය පත්වීමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිව යාත්‍රා කරන අතර, නෞකාවේ ගැඹුර මීටර් 14.4 කි. දිග මීටර් 335ක් වන නෞකාව මීටර් 51ක පළලකින් යුක්තය. නෞකාවේ දේශීය නියෝජිතයා වන්නේ මැක්ලරන්ස් ෂිෆින් ආයතනය වන අතර මේ නෞකාව බහාලු 14000ක් ප්‍රවාහනය කළ හැකි නෞකාවකි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ්, CICTපර්යන්තයේ ප්‍රධාන විධායක නිලධාරි ජැක් හුවැන්ග් මහත්වරු හා ශ්‍රී ලංකා වරාය අධිකායේ, CICT පර්යන්ත සමාගමේ හා නෞකාවේ දේශීය නියෝජිත මැක්ලර්න්ස් ෂිපින් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න