පළාත් සහ ප්‍රාදේශීය සභා අක්‍රිය වූ පමණින් ජනතාවගේ අවශ්‍යතා මඟහැරිය නොහැකියි | දිනමිණ

පළාත් සහ ප්‍රාදේශීය සභා අක්‍රිය වූ පමණින් ජනතාවගේ අවශ්‍යතා මඟහැරිය නොහැකියි

වයඹ පළාත් නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන

පළාත් සහ ප්‍රාදේශීය සභා අක්‍රිය වූ පමණින් මහජනතාවගේ අවශ්‍යතා මඟහැරිය නොහැකි බව වයඹ පළාත් නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය.

"පළාත් සහ ප්‍රාදේශීය සභාවලට නියෝජිතයන් පත්කරන තෙක් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කැප වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නා. පැවති අර්බුද සමනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ගත් ඍජු තීරණ වැදගත් වුණා. එය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් ලෙස මා කටයුතු කරනවා.

වසර 40ක දේශපාලන අත්දැකීම්, වසර 25ක පාර්ලිමේන්තු අත්දැකීම් සහ කැබිනට් ඇමැතිවරයකු, රාජ්‍ය ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස ලත් අත්දැකීම් තුළින් ජනතාව පිළිබඳ මට පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ අනුව වයඹ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මට හැකි වෙනවා. දේශපාලනඥයා මාළුවෙකු වගේ. මාළුවාට වතුර නැතිව බෑ වගේ දේශපාලනඥයාට ජනතාව නැතිව බෑ.

පාර්ලිමේන්තුවේ අද ඉන්න 101 දෙනකුට වඩා මම ඡන්ද ගෙන තිබෙනවා. එදා පරාජයට පත් වුණේ වාසනාවකට ද කියලත් හිතෙනවා. එම නිසා කිසිවකුගෙන් බැණුම් නොඅසා තාඩන පීඩනවලට ලක් නොවී ඉන්න පුළුවන් වුණා. බලයදී තිබෙන්නේ ජනතාවට සේවය කිරීමට මිසක් බලය පෙන්වීමට නොවෙයි කියන එක පසුගිය කාලයේ අත්දුටුවා. එම නිසා දේශපාලනඥයා නිහතමානි විය යුතුයි."

මෙහිදී හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ ආගමික වතාවත් සිදු කළහ.

 

ඡායාරූපය-වාසිත පටබැඳිගේ

 

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න