සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක කෑලි ගලවා එම කොටස් ලොරියකින් ගෙන යමින් තිබියදී කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගැනීමට පොල්පිටිය පොලිසිය සමත්ව ඇත.
ඉකුත් 15 වැනිදා රාත්‍රී 9.00ට පමණ කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසලින් ගිනිගත්හේන දෙසට ධාවනය වෙමින් තිබූ ආවරණය කරන ලද ලොරි රථයක් පිළිබඳව සැක ඇති වී, එම ලොරි රථය පරීක්ෂාවට ලක් කළ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් හට එම ලොරි රථය තුළ තිබී කැබලි කරන ලද ත්‍රිරෝද රථයක කොටස් සොයාගත හැකි විය. එම ත්‍රිරෝද රථය කොටස් 40කට වෙන් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී එම ලොරි රථ රියැදුරා හා එහි ගමන්ගත් පුද්ගලයාත් ලබා දුන් තොරතුරු පරස්පර වීම නිසාත් කිසිදු නීතිමය ලියැවිල්ලක් නොතිබූ නිසාත් ඔවුන් දෙදෙනා ඇතුළු ලොරි රථය හා ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථ කොටස් අත්අඩංගුවට ගනු ලැබීය. තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ මුහුණුපොත ඔස්සේ නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පදිංචි එම ලොරි රථයේ ගමන් ගත් පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 125,000කට එම ත්‍රිරෝද රථයේ කොටස් ලබාගෙන ඇති බවය.
ඒ අනුව පොල්පිටිය පොලිසිය මඟින් කරන ලද වැඩිදුර විමර්ශනවලදී හෙළි වූයේ එම ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය AAW-3287 බවත් එහි මුල් අයිතිකරු බුලත්කොහුපිටියේ බෙලිහුල්වාන උඳුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්ය. එම වැටලීම කර එම සැකකරුවන් දෙදෙනා සමඟින් එම ත්‍රිරෝද රථයේ කොටස් හා ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට ගෙන අදාළ පරීක්ෂණ සිදු කරනු ලැබුවේ පොල්පිටිය පොලිසිය විසිනි.
ගිනිගත්හේන විශේෂ - ජී.ඒ. ගුණසේන හැටන් - රංජිත් රාජපක්ෂ
ගිනිගත්හේන විශේෂ - ජී.ඒ. ගුණසේන හැටන් - රංජිත් රාජපක්ෂ
නව අදහස දක්වන්න