වවුනියාව කල්මඩු රක්ෂිතයෙන් අනවසරයෙන් කපන ලද දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් නැවැත්වීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළෙකු වාහනයට හප්පා තුවාල සිදු කොට සැකකරු ඉකුත් 16 වැනිදා පලා ගොස් තිබේ. එම රථයට ඒ අවස්ථාවේදී සෙසු නිලධාරීන් වෙඩි තබා රථය නවතා ගෙන ඇතත් එහි සිටි සැකකරු අසල වූ කැලයට පැන පලා ගොස් තිබේ.
අනවසරයෙන් කැපූ දැව තොගයක් ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ පරයානාලන්කුලම කඳවුරට ලැබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් ඊච්චන්කුලම ප්‍රදේශයට ගොස් රැකවල් ලා සිටි අවස්ථාවේදී එම කැබ් රථය පැමිණ තිබේ.
එම කැබ් රථය නවත්වන ලෙස සංඥා කළ අවස්ථවේදී එය නතර කිරීම වෙනුවට නිලධාරියෙකුව හප්පා ගෙන ඉදිරියටම රථය ධාවනය කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදු කොට තිබේ. කැබ් රථයේ ගැටීම නිසා තුවාල ලැබූ නිලධාරියා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තුවාල බරපතළ නොවන බැවින් එම නිලධාරියා රෝහලෙන් පිටව ගොස් ඇති බව විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු පවසා සිටියේය. කැබ් රථය හා දැව තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා ඊච්චන්කුලම පොලිසිය වෙත බාර දී ඇති අතර, සැකකරුව අත්අඩංගුවට ගැනීමට ඊච්චන්කුලම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ
නව අදහස දක්වන්න