දුරකතන සමාගම් නියෝජිතට පහර දී පැහැරගත් කාරයට අතරමඟදී සිසුවෙක් බිලි | දිනමිණ

දුරකතන සමාගම් නියෝජිතට පහර දී පැහැරගත් කාරයට අතරමඟදී සිසුවෙක් බිලි

සිද්ධියට සැකපිට අනියම් ජෝඩුව දැලේ

මෙරට ප්‍රසිද්ධ දුරකතන සමාගමක රූපවාහිනී සම්බන්ධතා ලබාදෙන නියෝජිතයකුට අනුරාධපුර යාපනය හන්දියේදී පහර දී කොල්ලකා පැහැර ගෙන යමින් තිබුණු මෝටර් රථයක ගැටී ඉපලෝගම මහඉලුප්පල්ලමදී පහළොස් හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ පෙරේදා (16) සවස් කාලයේදීය. සිසුවා පාපැදියක ගමන්කරමින් සිට ඇති බවත් මෝටර් රථය පාපැදියේ ගැටී ඇති බවත් පොලීසිය කියයි. සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ස්ථානයේදීමය.

මෝටර් රථය කොල්ලකා ඇත්තේ මෙදින සවස 4.00ක් 4.30ත් අතර කාලය තුළදීය. මෝටර් රථ කොල්ලය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අනුරාධපුර මූලස්ථාන පොලීසිය සඳහන් කරනු ලබන්නේ රඹෑවේ පදිංචිකරුවකු වන දුරකතන සමාගම් නියෝජිතයාට නව රූපවාහිනී සම්බන්ධකමක් ලබා ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් කාන්තාවක විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවය. ඒ අනුව ඔහු දුරකථන සම්බන්ධතාව ලබාදීම සඳහා ස්ථානීය පරීක්ෂාවක්කර අවශ්‍ය ගනුදෙනු සිදුකිරීමට යාපනය හන්දිය වෙත ඔහුට අයත් මෝටර් රථයෙන් ගොස් ඇති බවය. එම කාන්තාව දුරකතන ඇමතුම දෙමින් පවසා ඇත්තේ ඔහුට යාපනය හන්දියට පැමිණෙන ලෙසය. ඒ ඇය පදිංචි නිවස සොයා ගැනීමට අපහසුවන නිසා බවය.

නියමිත වේලාවට යාපනය හන්දියට ගිය විට එම කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ එහි සිට ඇත. ඔවුන් දෙදෙනා එක්ව එහිදී මෙම දුරකතන සමාගම් නියෝජිතයාව පේපර් කටර් එකකින් කපා තුවාල කර ඔහුව බිය ගන්වා රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මෝටර් රථයත් ඔහු සතුව තිබුණු රුපියල් 3,250ක මුදලක් සහ රුපියල් 27,000ක් වන ජංගම දුරකතනයක් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය කියයි.

මෙසේ මෝටර් රථය කොල්ලකා පලායමින් සිටියදී කාන්තාව අතර මගින් බැස ත්‍රීරෝද රථයක නැගී ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඇය අනුරාධපුරයේ යම් ස්ථානයකින් ත්‍රිරෝද රථයෙන් බැස ගොස් ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරුට මුදල් නොගෙවමිනි. ඒ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රිය­ැදුරු විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථය කොල්ලකා ඇත්තේ ද ඇය විසින් බවය. ඒ වන විට මෝටර් රථය ඉපලෝගමදී අනතුරුට ලක්ව සිසුවා මියගොස් සිට ඇති බව පොලීසිය කියයි. මෝටර් රථය අතහැර රියැදුරු ලෙස එහි සිටි කොල්ලකරු පලායාමට උත්සහා දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙසේ මෝටර් රථ කොල්ලයට සම්බන්ධ යුවළ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති අනියම් යුවළක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

කොල්ලකෑ මෝටර් රථයේ සිසුවා ගැටී ඇත්තේ කැකිරාව - එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී ය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් 15 හැවිරිදි සිසුවෙකි.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් පස්වරු 5.00 ට පමණ නිමවී නිවසට තමන්ගේ පා පැදියෙන් පැමිණෙමින් සිටියදී පස්වරු 5.30 ට පමණ සිදු වූ අනතුරින් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත.එම සිසුවාගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි. සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය , සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකතන කණුවකද ගැටී නතර වී තිබිණි.අනතුරින් පා පැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සඳහා කළාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණි. අනතුරට ලක්වූ මෝටර් රථය කොල්ලකෑ එකක් බවත් අනතුර සිදුවන විට එහි රියදුරු ලෙස කටයුතුකර ඇත්තේ කොල්ලකරු බවත් අනාවරණය වී ඇත්තේ පසුවය.

පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වූ බවත්, අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පැමිණ සිසුවාගේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.මෝටර් රථයේ රියදුරු බීමතින් සිටි බවට සැක කරන බවද ඔවුන් පැවසීය.

මෙම අනතුර සිදුවූ එප්පාවල- කැකිරාව මාර්ගය ප්‍රථිසංස්කරණය කර අවසන් වීමෙන් පසු මාර්ග සංඥා නිසි ලෙස සටහන් කර නොතිබීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවද, මාරක වංගුවක් මෙන්ම, පදික මාරුවක්ද ඇති එම ස්ථානයේ ඒ සම්බන්ධයෙන් මාර්ග සංඥා නොමැති වීම මෙම අනතුරට හේතුවක් බවද ප්‍රදේශවාසීන් පැවසීය.තවත් මෙවැනි අනතුරක් සිදු වීමට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසද ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මාර්ග සංඥා නොමැති ගැටලුවක් මාර්ගයේ පැවතියත් මෙම අනතුර සිදුව ඇත්තේ කොල්ලකරු මෝටර් රථය අධික වේගයෙන් රැගෙන පලායමින් සිටි නිසා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අනතුරින් ජීවිතක්ෂයට පත් පුෂ්පික කසුන්ත සමරතුංග පුතුගේ පියා මාධ්‍යයට අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

“පුතා සවස තුනට පන්තියකට ගියා, පන්ති ඉවර වෙන්නේ සවස පහට, මමත් ඒ වෙලාවේ වැඩ ඇරිලා එන ගමන් හිටියේ, පන්තිය පහු වෙලා මීටර 200 ක් විතර දුරින් මම දැක්කා පුතා එනවා, මගේ පොඩි පුතත් මගේ බයික් ඒකේ හිටියා, මම පොඩි පුතාට කිව්වා අයියාට හූ කියලා බායි කියන්න කියලා.අපි පුතාව පහු කරගෙන ගෙදර ගියා.ඒ මම පුතා පහු කරලා මීටර 100 ක් විතර ගියහම තමයි ඔය අනතුර වෙලා තියෙන්නේ.ගෙදර ගිය ගමන් පුතාව හැප්පිලා කිව්වා.මම රෝහලට ඇවිත් බලද්දී පුතා නැති වෙලා කියලා කිව්වා.පුතා දවල්ට පා පැදියෙන් තමයි පන්ති යන්නේ, රෑට වගේ නම් මම ගෙදර එක්කන් යනවා.මගේ පුතා ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්, ශිෂ්‍යත්වයත් සමත් වුණා ඉහළින්, කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වසරේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ.පන්ති නායකයත් මම මගේ පුතා.මම කියන්නේ මේකට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා.මම කියන්නේ නෑ කාගෙවත් ගෙවල් ගිණි තියන්න, ගහන්න බනින්න කියන්නේ නෑ,හැබැයි මේ සමස්ථ සමාජයේම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ, මේ වගේ සිද්ධි වුණාම හැම තාත්තාම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.හැබැයි නීතිය ක්‍රියාත්මක වුණේ නෑනේ, ඒ තාත්තලාට සාධාරණයක් හම්බෙලා නෑ, මම දේශපාලඥයොන්ට කියන්නෙවත්, වන්දියක් ඉල්ලන්නේවත් නෑ, මම කියන්නේ මගේ දරුවාට වෙච්ච දේ මෙතනින් එහාට වෙන්න දෙන්න එපා කියලා.මට ඉස්සර මේ වගේ සිද්ධි වලදී තාත්තලා ඉල්ලපු මේ දේට විසදුමක් දුන්නා නම් අද මට මේක කියන්න වෙන්නේ නෑ.මම මේ ලෝකයෙන්ම ඉල්ලන්නේ කාටවත් කරදර කරන්න එපා.මල් කැකුලු වගේ දරුවන්ට මෙහෙම අපරාධ කරන්න එපා“ යනුවෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ගයාන් කුමාර වීරසිංහ. අනුරාධපුර සශිනි මධුෂානී හා තලාව සමන්ත ධර්මකීර්ති

නව අදහස දක්වන්න