ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මඟින් සංවිධාන කරන “2023 විදුදය - රිට්ස්බරි පිහිනුම් ශූරතාවලිය” මේ මස 26 සහ 27 දෙදින එම විශ්වවිද්‍යාල පිහිනුම් සංකීර්ණයේදී පැවැත්වේ. මේ ශූරතාවලිය තෙවැනි වරට සංවිධාන කරන අතර, රිට්ස්බරි තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ද තෙවැනි වරටය.
මෙවර තරගාවලිය සඳහා පාසල් සහ පිහිනුම් ක්‍රීඩා සමාජ 300කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000කට අධික පිරිසක් එක්වනු ඇතැයි සංවිධායකයන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
මෙහිදී අවුරුදු 10, 12, 14, 16 සහ 18න් පහළ ලෙස කාණ්ඩ 5ක් යටතේ තරග පැවැත්වෙන අතර, තරගාවලිය යටතේ කේවල ඉසව් 108ක් සහ කණ්ඩායම් ඉසව් 20ක් පැවැත්වීමට නියමිතය. බාලක සහ බාලිකා සියලු කාණ්ඩවල ජයග්‍රාහකයන්ට කේවල ශූරතා පිරිනැමෙන අතර, එම කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පදක්කම් පිරිනැමේ. බාලක සහ බාලිකා කණ්ඩායම් ඉසව්වල ජයග්‍රාහකයන්ට සමස්ත ශූරතා හිමි වන අතර, තරගාවලියට සහභාගීවන සියලු තරගකරුවන්ට සහභාගීත්වය වෙනුවෙන් සහතික පතක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මේ තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් පෙරේදා (16) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභා ශාලාවේදී පැවති අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා නිශාන්ති විදානගේ මහත්මිය පැවසුවේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා සහයෝගය වැදගත් වන අතර, මේ ශූරතාවලිය සාර්ථක කර ගැනීමට මින් පෙර සේම මෙවරත් සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් රිට්ස්බරි වෙත ස්තුතිය පිරිනමන බවත්ය. දශකයකට අධික කාලයක් මෙරට තරුණ පරපුරේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමට උත්සාහ කරමින් ඒ සඳහා විවිධ පියවර ගෙන ඇති අතර, මේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා අඛණ්ඩව තෙවැනි වරටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම මහත් අභිමානයක් බවත් සීබීඑල් සමාගමේ සාමාන්‍යාධිකාරි (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා පැවසීය.
නව අදහස දක්වන්න