අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු තවත් පියවරකින් ඉහළ දමා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් පිල පෙරේදා සමත් විය.
ලක්නව්හිදී පෙරේදා රාත්‍රියේ පැවති තරගාවලියේ 63 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 5ක ජයක් හිමි කර ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉහළට ඒමට ලක්නව් (15) පිලට හැකි විය. තරග 13කදී ලක්නව් පිල හිමි කර ගත් 7 වැනි ජය මෙය වන අතර, තරග 7ක් ජයගෙන තෙවැනි ස්ථානයේ සිටි මුම්බායි පිල මේ පරාජය (6) සමඟ සිවුවැනි ස්ථානය දක්වා පහතට වැටිණි.
තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ලක්නව් පිල දුන් ලකුණු 178ක ඉලක්කය හමුවේ මුම්බායි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 172ක් පමණි.
පන්දු 58කින් ලකුණු 90ක සබඳතාවක් ගොඩනඟමින් මුම්බායි පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දීමට ඉෂාන් කිෂන් සහ නායක රෝහිත් ශර්මා සමත් වූ අතර, ශර්මාගේ ඉනිම ලකුණු 37කින් නිමා විය. කිෂන් පන්දු 39කින් ලකුණු 59ක් රැස් කළ අතර, ටිම් වෙඩ්විඩ් පන්දු 19කදී නොදැවී ලකුණු 32ක් රැස් කළ ද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි සහ යෂ් ඨාකූර් කඩුලු 2 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් ලක්නව් ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 35ක් තුළ බිඳ වැටුණ ද අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි මාර්කස් ස්ටොයිනිස් වේගවත් පිති හරඹයක නිරත වෙමින් කණ්ඩායම ලකුණු 177 සීමාවට රැගෙන ගියේය.
ස්ටොයිනිස් නායක කෘනාල් පාන්ඩ්යා සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 89ක් එක් කර අතර, ආබාධයක් හේතුවෙන් කෘනාල් පිටියෙන් ඉවත් වූයේ නොදැවී ලකුණු 49ක් රැස් කර තිබියදීය. අනතුරුව නිකලස් පුරාන් සමඟ එක්ව පන්දු 24කින් ලකුණු 60 සබඳතාවක් ගොඩනැඟීමට ස්ටොයිනිස් සමත් වූ අතර, ඉන් පූරාන් වාර්තා කළේ ලකුණු 8ක් පමණක් වීම කැපී පෙනිණි. හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 89ක් රැස් කළ ස්ටොයිනිස් ඒ සඳහා වැය කළේ පන්දු 47ක් පමණි.
නව අදහස දක්වන්න