දූෂණ වංචා සිදු කළ නිලධාරීන්ට වැඩ වරදී | දිනමිණ

දූෂණ වංචා සිදු කළ නිලධාරීන්ට වැඩ වරදී

ක්‍රීඩා සංගම් 17කට අතුරු කමිටු?

වසර ගණනාවක් පුරා තනතුරු දරමින්ද, මහ පරිමාණයේ මූල්‍ය දූෂණ වංචා සිදුකරමින් ද ක්‍රීඩාව ආපස්සට තල්ලු කරමින් සිටින මෙරට ක්‍රීඩා සංගම්වල දූෂිත නිලධාරීන්ට නැවත බලය අත්පත් කරගැනීමේ අවස්ථා අහිමි කිරීමට එවැනි චෝදනා එල්ල වූ ක්‍රීඩා සංගම් 17කට පමණ අතුරු කමිටු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

එවැනි ක්‍රීඩා සංගම් රැසක ඇතැම් නිලධාරින් දශකයකට වැඩි කාලයක් තනතුරු දරමින් සිටින බවත්, ක්‍රීඩා පනත ද උල්ලංඝනය කරමින් සෙසු නිලධාරීන් සමඟ එක්ව විවිධ මූල්‍ය අක්‍රමිකතා සිදු කර ඇති බවට ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි අතිවිශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයි ද වාර්තා වේ. එවැනි දූෂිත නිලධාරින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ලබන බවටත්, ක්‍රීඩා සංගම්වල විවිධ වරප්‍රසාද ලබමින් ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ සලසා ඇතැයි ද මේ වන විට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට පැමිණිලි ලැබී ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

අතුරු කමිටු පත් කිරීමට අවශ්‍ය හේතු සාධක මේ වන විටත් ලැබී ඇති බැවින් මේ මස 31 වැනිදා වන විට නිලවරණ පවත්වා අවසන් කළ යුතු බොහෝ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් දැඩි කලබලයට පත්ව සිටින බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හැර සෙසු සියලු ක්‍රීඩා සංගම්වල නිලවරණ ක්‍රීඩා පනතේ සංශෝධිත වගන්තිවලට අනුකූලව නිලවරණ පැවැත්විය යුතු බවට පසුගියදා ක්‍රීඩා අධ්‍යක්ෂ අනුර මුතුමාල මහතා ලිඛිත දැනුම්දීමක් ද කර තිබිණි. එබැවින් බොහෝ ක්‍රීඩා සංගම්වල නිලතලවලට පත්වීමෙන් පසු එය සිය ජීවනෝපාය කරගත් බොහෝ දූෂිත නිලධාරීන්ට ඉදිරියේදී තනතුරු අහිමිවනු ඇතැයි ද, ඉන් නොනැවතී විමර්ශන හා පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව අතුරු කමිටු පත්වන සියලු ක්‍රීඩා සංගම්වල තනතුරු අහිමි වූ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය සාක්ෂි සහ සාධක ගොනු කිරීමට ක්‍රීඩාවට ළැදි බොහෝ පාර්ශ්ව වැඩකටයුතු කරමින් සිටින බවත්, ක්‍රීඩා අමාත්‍යාංශය එවැනි පියවරක් ගැනීමට අවධානය යොමු කිරීම සම්බන්ධව සිය ප්‍රසාදය පළ කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න