ඔන්ලයින් කෙරුවාව හරියට ලයින් කරන්න | දිනමිණ

ඔන්ලයින් කෙරුවාව හරියට ලයින් කරන්න

මල් තියන්න ඕනේ කතාවක්, දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සිදු කළ බව ඊයේ දිනමිණ මුල් පිටුව වාර්තා කර තිබුණි. තමන් බලය බෙදීම සඳහා පෙනී නොසිටින බවත්, මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ මන්ත්‍රීවරු කියා තිබේ. මේ පන්නයට හිතන පතන උතුරේ මන්ත්‍රීවරු, මේ රටේ ප්‍රශංසාවට භාජනය විය යුත්තෝය. මීට වසර 14කට පෙර වෙඩි කා මළ, ප්‍රභාකරන්ගේ දේශපාලන බල ඇණිය ලෙස තවමත් ජීවමානව සිටිනා, බලය බෙදීම, සිය පැවැත්ම කරගත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු අතරේ, මේ මන්ත්‍රීවරුන්ට ඇති කොන්ද පිළිබඳව පළමුව සතුටු වෙමු.

බලය බෙදන්නට නොහැකි බවත්, මන්නයක් අතට ගත් විට ‘බලයා’ බෙදිය හැකි බවත්, මේ පිරිස තේරුම් ගත යුත්තේය. බලය යනු රාජ්‍යයේ කේන්ද්‍රයය. එය එක් එක් පාර්ශ්ව වෙත බෙදා දිය හැක්කක් නොවේ. එසේ නමුත් අවශ්‍ය තැන්හිදී මහජන අවශ්‍යතාවය අනුව එම බලය විමධ්‍යගත කළ හැක්කේය. එය ද කළ යුත්තේ බෙදුම්වාදී රේඛාව නිර්මාණය වන ආකාරයෙන් නොවේ. මේ පුංචි රටේ තවත් බෙදන්නට දෙයක් නැත. වෙන එකක් තබා දැන් හරිහමන් පොල්වත්තක් හෝ තදාසන්න පළාතක නැත, ඒවා ද වෙන්දේසිකාරයෝ කැබලි කර විකුණා අවසන්ය. එහෙව් රටේ බලය යනු මැතිවරණ ක්‍රියාදාමයක් අනුව තෝරා පත් කරගන්නා පිරිස සිදු කරන හෙබවීමක් මිස, එහෙට මෙහෙට බෙදා දෙන ‘හැන්දක් සහිත පංගුවක්’ නොවේ.

මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක සිදු වූ අලකලංචියක් ද ඊයේ දිනමිණ පුවත්පත සිය මුල් පිටුවේ වාර්තා කර තිබුණි. ෆේක් ප්‍රොෆයිලයක් සාදා ගත් පාසල් සිසුවෙක්, තමන් නිරූපණ ශිල්පිනියක් බව පවසමින්, රට වටේම ඉන්නා ගැහැනු ළමෝ ඇන්දවූ ආකාරය එම පුවතේ සටහන් විය. මේ තරම් සරල ආකාරයෙන් ඇඳුම් ගලවා දැමීම කළ හැක්කේ නාන කාමරයේදී පමණි. ඒ හැරුණු කළ කොහේ හෝ යන අණ්ඩයෙකු ෆේස් බුකියේදී කියන පරිදි ඒ ආකාරයට පෙනී සිට, සෙල්ෆි ගසා එවන තරම් බොළඳ පන්නයට මේ දරුවන් පත් වුණේ කෙසේද...?

මේ රටේ දෙමවුපියෝ මෙන්ම දරුවන් ද ගිමන් හරින ස්ථානය වන්නේ ‘ටෙලිවිෂන් හන්දිය’ය. ඒ මීට කලකට ඉහතදීය. මහ පාරේ පැයක් හමාරක් රස්තියාදු වී නිවසට යන කෙනා පොඩි වොෂ් එකක් දාගෙන විත් බත් කන්නේ ද තේ බොන්නේ ද එතැන සිටය. සමහර ගෙවල්වල මේ හන්දිය මැද්දෙන් එකපාරටම යා නොහැක්කේ, හතර වටේ පිඟන් කෝප්ප තිබෙන නිසාය. එසේ පැමිණි ගමන ද එදා විවේචනය වූයේ, මවුපිය දූ දරු සම්බන්ධය ටෙලිවිෂනය නිසා දුරස් වූ බව කියමිනි. අද ඒ වෙනුවට ඇත්තේ, අත්ල මත්තේ තිබෙන, ෆෝන් එකය. කා කියා ගන්න බැරිව හතර අතේ ණය වී සිටිය ද ඕනෑම, එකෙකුගේ අතේ හොඳ ෆෝන් එකක් තිබේ. දෙතුන් දාහක බිලක් ඊට ගෙවන එකා, ලයිට් බිල, වතුර බිල ගෙවන්නේ අඬ අඬාය. ගෑස් එක ගේන්න යන්නේ, ආණ්ඩුවේ රැල් අරිමිනි.

ඒ මදිවාට කොවිඩ් අස්සේ කඩා පහත් වූ අනෙක් වසංගතය ද ඇත. ඒ ඔන්ලයින් පන්ති කෙරුවාවය. මෙය අපේ ගෙවල් දොරවල්වලට නුහුරුය. පොඩි එකා සියලු වැඩ කටයුතු දන්නේ වුවද, මහ එවුන්ට ඒ ගැන එහෙමට තේරුමක් නැත. මේ නිසා මාර මාර දේවල් සමහර ඔන්ලයින් පන්ති මැද්දේ, ලොග් වී සිටි, අනිත් එවුන් දැක්කේය.

පාසල් ආරම්භවූවද ‘වාසියටත් පහසුවටත්’ ඔන්ලයින් ක්ලාස් ඇති නිසා, මවුපියෝ ඒවාට ඉඩ දුන්හ. කොවිඩ් කාලේ වගේ දැන් ගෙදර අම්මා තාත්තා නැත. ඒත් ඉන්ටර්නෙට් ඇත. ඒ ගුලාවට රිංගා, ගත හැකි හොඳ දේවල් එමටය. ඒ වුවත් මිනිසා සාමාන්‍යයෙන් බර පවටය. අලුත් අලුත් දේ සොයනා ‘දහසයේ පහළොවේ වයසේ’ පොඩ්ඩෝ ඉස්කෝලේ වැඩ ටිකක් කර, ටික් ටොක් ආදී වැඩ ගොඩක් කිරීම සඳහා, ඒ ගුලාව යූස් කරන්නෝය. ඒවා කඩයිම පැන යන අවස්ථා නැත්තේ නොවේ. එසේම ‘මිනුවන්ගොඩ පාසල් ශිෂ්‍යයා සේ සිදු කරන අවස්ථා ද නැත්තේ නොවේ. මේවා හොඳ පාඩම්ය. වැඩිහිටියෙක් නැතිව පාරේ යවන්නේ නැති දරුවාට, කාත් කවුරුවත් නැතිව, අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම තරමේ අනුවණකමක් තිබිය හැක්කේද...? පොඩි එවුන්, කම්පියුටරේ දාන සෙල්ලම්, අම්මලා තත්තලාට අල්ලා ගැනීමට බැරිය. ඒ වංගු, ඒ වයසේ දරුවෝ හොඳින්ම දන්නෝය.

එහෙම තත්ත්වයක් ඇති තැනකදී, වැඩක් ඇති දෙයක් ද භාවිත වන්නේ ‘අපිට දෙයක් නැති කිරීමටය’. ‘මගේ අම්මා’ කිය කියා ළමුන් සිඹ පෙන්වන ආදරය පමණක් මෙතැනදී ප්‍රමාණවත් නැත. දරුවා යනු රැක බලාගෙන හැදිය යුතු දෙයකි. කළුතර දියණියගේ උදාහරණය ගන්න. ඒ පාසල් යන දියණියකි. දරුවන් මිස අන් සම්පතක් නැති හෙයින්, අප සියලු කැප කිරීම් ඒ දෙසටම හරවාගෙන සිටිය යුතුය.

ඒකීය රාජ්‍යයක් සහතික වී හෙටට වසර 14කි. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු පවා, බලය බෙදීම අත්හරින තැනට ආවේ, පාඩම් ඉගෙන ගැනීමෙනි. අනිත් අතින්, අපි ජාතියක් ලෙස ඒකීය රාජ්‍ය අත්නොහැර, ඒ දිගටම සටන් කළ නිසාය. එවැනි ආකාරයෙන් රටත් දරුවනුත් අපි දිගටම බලා ගත යුතුවෙමු.

නව අදහස දක්වන්න