දියණියගේ ‘ටික් ටොක්’ වීඩියෝවෙන් පැපුවා නිව්ගිනියා විදේශ ඇමැති ගෙදර | දිනමිණ

දියණියගේ ‘ටික් ටොක්’ වීඩියෝවෙන් පැපුවා නිව්ගිනියා විදේශ ඇමැති ගෙදර

චාල්ස් රජුගේ පසුගිය රාජ­ාභිෂේක මංගල්‍යයට සහභාගි වීමට එංගලන්තයේ සංචාරය කළ පැපුවා නිව්ගිනියා විදේශ ඇමැති ජස්ටින් කැචෙන්කෝට සිය දියණියගේ ‘ටික් ටොක්’ වීඩියෝපට හේතුවෙන් ඇමැති ධුරය අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජයේ මුදල් ඩොලර් ලක්ෂ 9ක් වැය කරමින් රාජ­ාභිෂේකයට ගිය විදේශ ඇමැති ඇතුළු විසි දෙනකුගෙන් සමන්විත දූත පිරිසට ඔස්ට්‍රේලියාවේ පදිංචි ඇමැති දියණිය සවානා ද සහභාගි වී ඇත. මේ බව පැපුවා නිව්ගිනියාවේ ජනතාව දැනගෙන ඇත්තේ ඇය ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ අසුනක සිට ‘ටික් ටොක්’ සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ වීඩියෝ පට ගණනාවකිනි.

එම වීඩියෝපටවලට අනුව ඇය ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් නුවර සිට ලන්ඩනය බලා පැමිණෙමින් සිටියදී පියාගේ වරප්‍රසාද යටතේ සිංගප්පූරුවෙන් ගොඩ බැස සාප්පු සවාරියේ ද නිරතවී ඇත. තම බිරිය පවා කැටුව යෑමට අවසර නොලැබූ විදේශ ඇමැතිවරයා රාජාභිෂේක සංචාරයට රජයේ මුදල් වැය කර ඇති ආකාරය සහ දියණිය ද ලන්ඩනයට ගෙන්වා ගැනීම සම්බන්ධව චෝදනා රැසක් එල්ල වී තිබේ. එබැවින් තමා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඔහු පසුව නිවේදනය කළේය.

 

නව අදහස දක්වන්න