පැරිස් නුවර හොඳම ප්‍රංශ පාන් සාදන්නා - ශ්‍රී ලංකාවේ දර්ශන් | දිනමිණ

පැරිස් නුවර හොඳම ප්‍රංශ පාන් සාදන්නා - ශ්‍රී ලංකාවේ දර්ශන්

වසරක් පුරා ජනාධිපති මන්දිරයට  පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුවත් ලැබෙයි

ප්‍රංශයේ පැරිස් නුවර වාර්ෂිකව පැවැත්වෙන හොඳම ‘ප්‍රංශ පාන්’ සාදන්නාගේ සම්මානය මෙවර ශ්‍රී ලාංකිකයකු දිනා ගෙන ඇතැයි එරට ෆ්‍රාන්ස් 24 පුවත් සේවය වාර්තා කළේය.

දර්ශන් සෙල්වරාජ් නමැති මේ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ප්‍රංශයට ආවේණික සම්ප්‍රදායික පාන් සෑදීමේ වාර්ෂික තරගය ජය ගැනීමත් සමග වසරක් පුරා එරට ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ට පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුවට ද හිමිකම් කීමට සමත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ. මීට වසර 10කට පමණ පෙර පැරිස් නුවරට ගිය දර්ශන් සෙල්වරාජ් ජයග්‍රහණය අත්කර ගත්තේ තරගකරුවන් 175 දෙනකු අතුරිනි. ජයග්‍රහණයත් සමඟ ඔහුට යුරෝ 4,000ක ත්‍යාග මුදලක් ද (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහතුනහමාරක පමණ මුදලක්) හිමි වී තිබේ.

30 වැනි වරට පැවැති එම තරගයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු දර්ශන් සතුටින් හඬා වැටුණු බවත්, විදේශිකයකු ලෙස ප්‍රංශයට පැමිණ සම්ප්‍රදායික පාන් සාදන අයුරු ඉගෙන ගත් තමාට අවසානයේදී හොඳම ප්‍රංශ පාන් සාදන්නාගේ සම්මානය ලැබීම විමතියට කරුණක් බවත් ඔහු සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න