අක්බාර් පාලමේ බඹර කූඩු ඉවත් කෙරේ | දිනමිණ

අක්බාර් පාලමේ බඹර කූඩු ඉවත් කෙරේ

 
මහවැලි ගංගාවේ සිට අඩි 150 ක් පමණ උසකින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්බාර් පාලමේ බැඳ තිබූ බඹර කූඩු 32 ක්  බඹරුන්ට කිසිදු හානියක් සිදු නොවන පරිදි එම ස්ථානයෙන් කපා ඉවත් කිරීම මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය මගින් 13 හා 14 යන දෙදිනේ දී ඉතා සාර්ථකව සිදු කර ඇත.
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ඉංජිනේරු පීඨය යා කරමින් ඉදිකර තිබෙන අක්බාර් පාලම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුදුම හතෙන් එකක් ලෙස හඳුන්වන අතර බිගු සම්පත සුරැකීමේ සංවිධානය මෙවර එහි බැද තිබූ බඹර කූඩු ඉවත් කළේ 12 වන වතාවටය. 
 
පාලම යටි පැත්තේ මැදට වන්නට බැද තිබූ බඹර කූඩු බඹරුන්ට කිසිදු හානියක් නොවන ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීම එක්තරා අන්දමකින් ජීවතයත් මරණයත් අතර සටනක් ලෙස හැඳින්වීම වරදක් නොවන්නේ එය මහවැලි ගඟට අඩි 150 ක් පමණ ඉහළ සිට කඹ ආධාරයෙන් එල්ලී බඹර ප්‍රහාරයන් ගෙන්ද  ආරක්ෂා වී   සිදුකළ යුතු බැවිනි. 
 
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත අතර මෙම බඹර කූඩු අක්බාර් පාලමෙන් ඉවත් කරනු ලැබුවේ ඊට සමගාමීව ය. 
 
මී මැසි, බඹර වද කපා පැණි ලබා ගන්නා අවස්ථාවේදි ඇතැම් පිරිස් බිඟුන්  පුළුස්සා විනාශ කරන බවත් බිඟු සම්පත ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී ලොව පුරා දැවැන්ත ආහාර අර්බුදයක් උද්ගත විය හැකි බවත් බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සභාපති හා ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ මහතා පැවසුවේය.
 
මේ වනවිට ශ්‍රී ලංකාවේ බිඟු සම්පත සීඝ්‍ර අඩු වීමට ලක්වෙමින් තිබෙන්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම බඹර කූඩු ඉවත් කිරීමේ අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ගුරු සිසු පිරිසක්ද එක්ව සිටියහ.

නව අදහස දක්වන්න