ඉංගිරියේ කාන්තාවගේ මරණයේ අභිරහස හෙළි වෙයි | දිනමිණ

ඉංගිරියේ කාන්තාවගේ මරණයේ අභිරහස හෙළි වෙයි

ඉංගිරිය, බෝධිනාගල, යහලවත්ත ප්‍රදේශයේ නිවසක තනිව සිටියදී පසුගියදා(11) මියගොස් සිටි තරුණියගේ මරණය  ප්‍රදේශයට එදින ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවූ දරුණු අකුණු ගැසීම් හමුවේ විදුලිසැර වැදීමකින් සිදුවූවක් බව නිගමනය කර තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති 25 හැවිරිදි තරුණියක් වන අතර, ඇය මීට මාස කිහිපයකට ඉහතදී විවාහ වූ අයෙකු බව විමර්ශන වලදී හෙළිව ඇත.
 
මියගිය තරුණියගේ ස්වාමිපුරුෂයා  රැකියාව නිමවා පැමිණෙද්දී තරුණිය මුළුතැන්ගෙයි වැටී සිටිනු දැක වහා ඉංගිරිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළද  ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ අතර, ඇයගේ මරණය සිදුවූ ආකාරය සියල්ලන්ටම මහත් සැකයක්ව පැවතුණි.
 
පසුව සිදුකළ පරීක්ෂණ අවසානයේදී එය අකුණු ගැසීම් හේතුවෙන් සිදුවූ විදුලිසැර වැදීමකින් වූ මරණයක් බව හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තීරණය කළ බව ඉංගිරිය පොලිසිය පවසයි. 
 
මියගිය තරුණිය වැටී සිටි මුළුතැන්ගෙයට ආසන්න කාමරයක විදුලි පේනුවක්ද බිත්තියෙන් වෙන්ව පිටතට නෙරාවිත් තිබූ බව පොලිස් නිරීක්ෂණ වලදී හෙළිව තිබූ අතර, පසුව වැඩිදුරටත් කළ පරීක්ෂාවේදී එදින ඇතිවූ ධාරානිපාත වර්ෂාව නිසා හටගත් අකුණුසැර නිවසෙහි විද්‍යුත් සැපයුම සමඟ සම්බන්ධවීමෙන් එම තරුණියට විද්‍යුත් පේනුව හරහා විදුලිසැර වැදීම නිසා හේතුවෙන් මරණය සිදුව ඇති බවට සනාථව තිබේ.

නව අදහස දක්වන්න