රිළවුන්ගෙන් කිතුල් කර්මාන්තයට දැඩි බලපෑම් කිතුල් කර්මාන්තකරුවන්ගෙන් කෘෂිකර්ම ඇමැතිට පැමිණිලි | දිනමිණ

රිළවුන්ගෙන් කිතුල් කර්මාන්තයට දැඩි බලපෑම් කිතුල් කර්මාන්තකරුවන්ගෙන් කෘෂිකර්ම ඇමැතිට පැමිණිලි

 

රිළවුන් විසින් සිදු කරන හානිය නිසා මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවෝ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට පැමිණිලි කළහ.

ඇහැලියගොඩ සහ රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධව සොයා බැලීමට පසුගිය 12 වැනිදා ඇමැතිවරයා එම ගම්මාන රැසක චාරිකා කළ අතර, ඒ සෑම ගමකම කිතුල් කර්මාන්තකරුවන් තම කර්මාන්තයට රිළවුන්ගෙන් එල්ලවී ඇති බලපෑම සම්බන්ධව ඇමැතිවරයාට කරුණු ඉදිරිපත් කළේය.

තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් විසින් මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල් මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත්, රිළවුන් දහස් ගණනක් මේ වන විට එම ප්‍රදේශවල සැරසරමින් මේ විනාශය කරන බවත් එම කර්මාන්තකරුවෝ පැවැසූහ. එම නිසා කෙසේ හෝ මේ විනාශය අවසන් කර දෙන්නැයි ඔවුන් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

රිළවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධව මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ වාර්ෂිකව රිළවුන්ගෙන් හානි සිදු වීම නිසා මෙරට වගාවන්වලට වන හානියේ වටිනාකම රුපියල් මිලියන 31,000 ඉක්මවන බව ඇස්තමේන්තු වාර්තාවලින් අනාවරණය වන බවත්, මේ රිළා ගහනය පාලනය කිරීමට හොඳින් හෝ නරකින් යම් වැඩපිළිවෙළක් රජය වශයෙන් අනුගමනය කරන්න සිදු වන බවත්ය.

චීනයේ පුද්ගලික සමාගමක් විසින් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් දෙන ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් ඊට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩපිළිවෙළ නැවතී ඇතත්, පවතින නෛතික කටයුතු විසඳා ගැනීමෙන් අනතුරුව එම වැඩපිළිවෙළ යළි අරඹන බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

 

නුවන් මහේෂ් ජයවික්‍රම

නව අදහස දක්වන්න