නිල්වලා-ගිං ගංගා පිටාර ගලයි කළුතරට සහ රත්නපුරට ගංවතුරෙන් දැඩි බලපෑම් | දිනමිණ

නිල්වලා-ගිං ගංගා පිටාර ගලයි කළුතරට සහ රත්නපුරට ගංවතුරෙන් දැඩි බලපෑම්

නිල්වලා සහ ගිං ගංඟාවල පහත්බිම් ප්‍රදේශවලට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඊයේ (14) දහවල් වන විට මෝඛා සුළි කුණාටුව ගිණිකොන දිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාරය වෙරළ තීරය අතරින් ගොඩබිමට ඇතුළුවී තිබේ. අද දිනයේ ද දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් අදාළ අංශ කටයුතු කළ යුතුය. අදාළ මුහුදු ප්‍රදේශවලට ගමන් කරන බහුදින ධීවර යාත්‍රා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකළ යුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් විය යුතුය.

මේ දිනවල පවතින අන්තර් මෝසම් තත්ත්වය හේතුවෙන් සවස් කාලයේ වැසි බලාපොරොත්තු විය හැකි බව ද ඇය සඳහන් කළාය.

පවතින වර්ෂාපතනය හේතුවෙන් කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර, දෙවිනුවර,බද්දේගම, නියාගම, නෙළුව, තවලම, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා සහ ගිං ගංගාවල පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමින් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරමින් සඳහන් කරයි.

ඊයේ (14) සිට අද (15) දක්වා එම නිවේදන වලංගු වන අතර, එම ගංවතුර අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. රට පුරා විටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇති විය හැකිය.

අද (15) පස්වරු 1.30 දක්වා වලංගු වන පරිදි ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් සඳහා නාය යෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ. ඒ අනුව පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා නාය යෑම් පිළිබඳව අවධානය යොමු කිරීමේ දෙවන අදියරේ අනතුරු ඇඟවීම ද, නාගොඩ, නෙළුව, බද්දේගම, යක්කලමුල්ල, ඇල්පිටිය, වලස්මුල්ල, වලල්ලාවිට, පාලින්දනුවර, අතුරලිය, පස්ගොඩ, මුලටියන, කොටපොල, අකුරැස්ස, කිරිඇල්ල, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑම් පිළිබඳව විමිසිලිමත් වීමේ පළමු අදියරේ නිවේදනය ද නිකුත් කර ඇත.

 

ඡායාරූපය - ජයසිරි පේදුරුආරච්චි

උපාලි කරුණාරත්න සහ ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

නව අදහස දක්වන්න