දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය මෙරට පිහිටුවීමේ ගෞරවය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ට හිමි විය යුතුයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් | දිනමිණ

දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය මෙරට පිහිටුවීමේ ගෞරවය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ට හිමි විය යුතුයි අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්

 

දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමේ ගෞරවය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාට හිමි විය යුතු යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

මීපේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ (South Asian Centre for Teacher Development) නව නේවාසිකාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය:

“ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම සඳහා විශාල කැප කිරීමක් සිදු කරමින් ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. 2008 වසරේ යුනෙස්කෝ විධායක කමිටු සඳහා මා ඉදිරිපත් වූ අවස්ථාවේ කලාපයේ දෙවැනි වැඩිම ඒ සඳහා තේරී පත් වීමට අපට හැකියාව ලැබුණා. මට පසුව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යුනෙස්කෝ විධායක කමිටුවට ඇතුළත් වෙමින් ක්‍රියාකාරීව කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ආසියානු කලාපයට ගුරු සංවර්ධන මධ්‍යස්ථානයක් ලබාදීමට තීරණය කළ අවස්ථාවේදී එය ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා ඉන්දියාව බංග්ලාදේශය ඇතුළු අනෙකුත් ආසියානු රටවල විශේෂ සහයෝගය ශ්‍රී ලංකාවට හිමි වුණා. නමුත් කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇතුළු කරුණු හමුවේ අපට එහි පාඨමාලාවන් සැලසුම් කළ ආකාරයට ආරම්භ කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ. කෙසේ නමුත් වත්මන් රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර එය විවෘත කිරීම කිරීමට හැකි වීම පිළිබඳ මා සතුටු වනවා. අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයේ සහයෝගය සහිතව ඉතා කෙටි කාලයක් තුළ එහි සම්පූර්ණ කටයුතු අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. ආයතනයේ ප්‍රධාන ශාලාව ඇතුළු අනිකුත් සියලු ගොඩනැගිලි සංකීර්ණය ද සම්පූර්ණයෙන්ම නවීකරණය කරමින් ජාත්‍යන්තර මට්ටමේ ගුරු සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා. ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා එහි ආරම්භකයා ලෙස සිදු සිදු කළ මෙහෙවර තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට අප කටයුතු කරනවා.“

උත්සවය අමතමින් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“අධ්‍යාපනය පිළිබඳ වූ ජාත්‍යන්තර සමුළු හා සම්මේලනවලදී මෙරට නියෝජිතයන් ලෙස අප ඉතා සක්‍රියව යුනිස්කෝ ආයතනයේ කටයුතු සඳහා දායකත්වය දී තිබෙනවා. දකුණු ආසියාවට ගුරුවරුන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ලබා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් වූයේ ඒ ආකාරයෙන්. ඒ සඳහා එවකට යුනෙස්කෝ සංවිධානයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සුවිශාල දායකත්වයක් ලබා දුන්නා. යුනෙස්කෝවේ විධායක කමිටුවට මෙම වාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඒ වන විට ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අප විසින් මෙම ගුරු පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා විශාල සටනක් සිදු කලා. අනෙකුත් ආසියානු රටවල එකඟතාවය මේ සඳහා ලබාගැනීමට පුද්ගලික මට්ටමින් සාකච්ඡා කිරීමට සිදු වුණා. එහිදී ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු අනෙකුත් රටවල එකඟතාව සහිතව ශ්‍රී ලංකාවට මේ ගුරු පුහුණු මධ්‍යස්ථානය ගැනීමේ යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සඳහා ඡන්ද විමසීමක්‌ පැවති අවස්ථාවේදී ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධවත් සිය ඡන්දය ප්‍රකාශ කලා. යම් දිනක මෙම ආයතනයේ ඉතිහාසය ලියා තබන අවස්ථාවක මේ කරුණු ද එහි ඇතුළත් විය යුතු බව මා විශ්වාස කරනවා. ඉන් අනතුරුව 2014 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය හා එක්ව මෙහි පරිගණක 100කින් සමන්විත පරිගණක පීඨය ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා ආසියානු කලාපයේ සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන් සහභාගි වුණා. ඉන් අනතුරුව රජයන් වෙනස් වීමත් සමඟ මේ ආයතනය නොසලකා හැරීමක් සිදු වුණා. අන්තර්ජාතික වශයෙන් ගිවිසුම් එකඟතාවයන්ට පැමිණ යම් වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව බලයට පත්වන අනෙකුත් රජයන් එම ගිවිසුම් නොතකා කටයුතු කිරීමත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීමත්, නිලධාරීන්ගේ වැරදි උපදෙස් දීමත් වැනි හේතුන් නිසා නිදහසින් 75 වසරකට පසුව අපේ රට මෙවැනි තත්වයකට මුහුණ පෑමට හේතු වූ බව අප සියලු දෙනා අවබෝධ කරගත යුතුයි.

පසුකලෙක මා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කිරීමේදී යුනිස්කෝ සංවිධානයට මේ පිළිබඳව පිළිතුරු සැපයීමටත් සිදු වුණා. එහිදී මේ මතුව තිබෙන තත්ත්වය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ඔවුන් ඉදිරියේ සහතික වන්නට අප කටයුතු කළා.

වත්මන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මැතිතුමා විසින් මේ ආයතනය පිළිබඳ නැවත අවධානය යොමු කරමින් එය දකුණු ආසියාවේම ගුරු පරපුරට සේවයක් සිදු කළ හැකි පරිදි පුළුල් කොට සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳ මගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. ඒ තුළින් අනාගතයේදී අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශයක් වන ආකාරයට නැණ ගුණ සපිරි ගුරු පරපුරක් බිහිකරන්නට හැකියාව ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.“

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගොපල් භාග්ලේ මහතා, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

211

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න