කළුතර ලැගුම්හලක පස් වැනි මහලින් බිමට වැටීමකින් පසු මිය ගිය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුවිශේෂි කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිසුවිය මියගිය දින ඇය සමඟ ලැගුම් හලේ රැඳී සිටියේ යැයි කියනු ලබන 19 හැවිරිදි තරුණියගේත් ඇගේ පෙම්වතාගේත්, සිසුවිය සමඟ කාමරයේ රැඳී සිටි සීසර්වරයාගෙත් දුරකතන ජාල විශ්ලේෂණයකට යොමු කිරීම කෙරෙහිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ අවවධානයට යොමුව තිබේ. එසේම මෙම සැකකරුවන්ගෙන් මෙන්ම ලැගුම්හලේ එදින පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ ලැගුම්හල් හිමිකරුගේ බිරිඳගෙනුත් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටත් දුරකතන ජාල විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය නියෝගත් අද (15) ලබාගැනීමට නියමිත බව ද ආරංචි මාර්ග අනාවරණය කළේය.
ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති නියමෙයන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිය දී බැවින් ඒ ගැනද මේ වන විට විශේෂ අවධානයක් යොමුව ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙම විමර්ශනයේ දී ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන පවා සැකයක් මේ වන විට ඇති වී තිබෙන බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සමම්බන්ධයෙන් වූ පොලිසියේ හැසිරීම ගැනද මේ වන විට වෙනම සොයා බැලීමක නිරතවන බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
නව අදහස දක්වන්න