පලා ගිය සැකකරුවන් පැය බාගෙන් අල්ලයි
දෙවැනි සැකකරුට ස්ත්‍රී දූෂණ චෝදනාවකුත්
බෝලවත්ත දුම්රිය ස්ථානය තුළ මත්පැන් පානය කරමින් සිටි දුම්රිය මගීන් දෙදෙනකුට දුම්රිය ස්ථානයේ මත්පැන් පානය නොකරන ලෙසට වැඩබලන දුම්රිය ස්ථානාධිපතිවරයා කළ දැනුම් දීමකින් උරණ වී දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු දුම්රිය සේවකයන් සිවුදෙනකුට පහර දී දුම්රිය ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයට හානි කරමින් පලා ගිය අපරාධකරුවන් දෙදෙනකුව එම සිදුවීමෙන් පැය භාගයක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය පෙරේදා (13) රාත්‍රියේ සමත් විය.
පහර දීමෙන් තුවාල ලැබූ වැඩබලන ස්ථානාධිපතිවරයාත් සෙසු සේවකයන් තිදෙනාත් රෝහල්ගත වීම හේතුවෙන් දුම්රිය ගමන් කිරීමට සංඥා නිකුත් කිරීමට නොහැකි වීම නිසා මගී දුම්රිය තුනක් අතරමඟ දුම්රිය ස්ථානවල නතරකර තැබීමටද සිදුවී තිබේ. මෙහි දී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මඟ නතරකර තිබුණු දුම්රිය ධාවනයටද පියවර ගෙන තිබුණි.
මෙම පහරදීමත් සමඟ දුම්රිය ධාවනය අඩාළ වීම ගැන තොරතුරු ලද වහාම හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වී වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා හා සම්බන්ධ වෙමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමටත් දුම්රිය ධාවනයට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන ලෙසත් උපදෙස් ලබා දී තිබේ.
මෙහි දී මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා මෙහෙයුමක් දියත්කරමින් සැකකරුවන් ගැන තොරතුරු සොයා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
පොලිසිය පවසන ආකාරයට අනුව මෙම පහර දීම සිදුව ඇත්තේ පෙරේදා (13) රාත්‍රී 7.00ට පමණය.
දුම්රියක් පැමිණෙන තුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටි සැකකරුවන් දෙදෙනා බීර කෑන් එකක් පානය කරමින් සිට ඇති බවත් එසේ නොකරන ලෙස වැඩබලන දුම්රිය ස්ථානාධිපතිවරයාත් සෙසු සේවකයිනුත් පැවසීම හේතුවෙන් ඊට උරණ වී මෙම පහර දීම සිදුව තිබෙන බව හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතා පවසයි.
දෙවැනි සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිට ඇප ලබා සිටින්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ගයාන් කුමාර වීරසිංහ, මිහිර
විජේසේකර - පුත්තලම
නව අදහස දක්වන්න