කොළඹ ආරක්ෂාව තර කළේ රජයට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා | දිනමිණ

කොළඹ ආරක්ෂාව තර කළේ රජයට ලැබුණු බුද්ධි තොරතුරක් නිසා

මහජන ආරක්ෂාව කඩකිරීමට කිසිවකුට කිසිවිටෙක ඉඩක් නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක ප්‍රධානීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක දී පවසා තිබේ. යම් සංවිධානානත්මක පිරිසක් විසින් මහජන කැලැඹීමක් ඇති කිරීමට හා මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කිරීමට සූදානම් වන බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරු මත පසුගිය 12 වැනිදා සිට කොළඹට දැඩි ආරක්ෂාවක් යෙදවීමට මේ අනුව ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

කොළඹ ආරක්ෂාව තර කිරීම හේතුවෙන් මහජන සාමයට බාධාවන කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවීම වැළැක්වීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

මේ තොරතුරු ලැබීමත් සමඟ ජනාධිපතිවරයා වහාම ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරුන්ට මේ පිළිබඳ අවශ්‍ය පියවර ගන්නා ලෙසට දැනුම් දී තිබිණි. වහාම සාගල රත්නායක හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්වරු මේ පිළිබඳ සාකච්ඡා කොට හදිසි රැස්වීමක් කැඳවා තිබිණි. මේ අනුව යුද හමුදාපති විකුම් ලියනගේ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන නිලධාරින් ජනාධිපති කාර්යාලයට කැඳවිණි.

මෙහි දී බුද්ධි තොරතුරුවලට අනුව ආරක්ෂක අංශ කෙසේ සූදානම් විය යුතුද යන්න සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කරන ලදී. මෙහි දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට ශ්‍රී ලංකා පොලිසිය හා යුද හමුදාව සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවරා ඇත. ඒ අනුව පසුගිය 12 සිට මේ දක්වා කොළඹ ආරක්ෂාව දැඩි කර ඇත.

නව අදහස දක්වන්න