අතුරුගිරිය පෝරේ මංසන්ධිය අසළ කැබ් රථයක හා මෝටර් රථයක යතුරුපැදිය ගැටීමෙන් මිය ගිය සචිනිගේ මව සාක්ෂි දෙමින් කියයි
කැබ් රථයේ රියැදුරු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
රස්සාවට යන්න මීට අවුරුදු තුනකට පෙර මගේ දුව ගත්ත යතුරුපැදියෙන් රස්සාවට යන අතරතුරදීම සදාකාලික නොඑන ගමනක් යයි කියලා හිතුවේ නැතැයි අතුරුගිරිය පෝරේ මංසන්ධිය ආසන්නයේදී කැබ් රථයක හා මෝටර් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරින් මිය ගිය සචිනි යශෝධා ක්‍රිෂ්ණරත්න (22) නමැති තරුණියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මව වන ලියනගේ පුෂ්පා අයිරානී මහත්මිය පැවැසුවාය.
හෝමාගම, හබරකඩ, බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධා පෞද්ගලික බැංකුවක දුරකතන ක්‍රියාකරවන්නියක ලෙස කටයුතු කර ඇති අතර, රාජකාරී සඳහා යන අතරතුර මේ අනතුරට මුහුණ පා තිබේ.
ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවෙසේ සිට මාලඹේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ පිහිටි ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක ගැටී විසිවී මාලඹේ දෙස සිට අතුරුගිරිය දෙසට විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ඉදිරිපස ද ගැටී මේ අනතුර සිදුව තිබේ.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් සිදු කළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය විසින් නිකුත් කර තිබුණි.
එහිදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් මිය ගිය තරුණියගේ මව මෙසේ ද කීවාය .
“මම විවාහ වෙලා ඉන්නේ සුදේව ක්‍රිෂ්ණරත්න එක්ක. මට පුතෙක්, දුවලා දෙන්නෙක් ඉන්නවා. මගේ වැඩිමහල් පුතා විදේශගතව ඉන්නේ. බාල දුව උසස් පෙළ හදාරනවා. මේ මිය ගිහින් ඉන්නේ පවුලේ දෙවෙනියා. මේ දුව මාලඹේ පිහිටි පෞද්ගලික බැංකුවක දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සේවය කරනවා. ඇය දිනපතා උදේ ගෙදර ඉඳලා වැඩට යන්නේ යතුරුපැදියෙන්. මීට අවුරුදු තුනකට පෙර යතුරුපැදිය ගත්තේ රස්සාවට යන්න පහසුවට.
සිද්ධියදා උදේ රස්සාවට යන්න දුව ගෙදරින් පිට වුණා. ටික වෙලාවක් යද්දී දුවගේ බැංකුවේ යාළුවෙක් මට කතා කරලා කිව්වා, දුව අනතුරකට ලක් වෙලා කකුල කැඩිලා ඔරුවල රෝහලේ ඉන්නවා කියලා. ඒ පාර මම අක්කගෙ දුවත් එක්ක ඔරුවල රෝහලට ගියා. ඒ යනකොට රෝහලේ වෛද්‍යවරුන් දුවට ප්‍රතිකාර කරමින් සිටියේ. ඊට පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා දුව හෝමාගම මූලික රෝහලට මාරු කළා. ඊට ටික වෙලාවකට පස්සේ දැනගන්න ලැබුණ දුව මිය ගියා කියලා. දුවගේ මෘත දේහය හඳුනා ගත්තා. දුව මිය යන්න ඇත්තේ රිය අනතුරෙන් කියලා මම හිතනවා. මරණය පිළිබඳ සැකයක් නෑ. මෘත දේහය අපි භාර ගන්නවා. මගේ දුව මේ විදියට මිය යයි කියා මා කිසිදා විශ්වාස කළේ නෑ.”
මිය ගිය තරුණියගේ පියා වන ක්‍රිෂ්ණරත්න වාසල මුදලි සුදේව ක්‍රිෂ්ණරත්න (56) මහතා සාක්ෂි දෙමින් මෙසේ කීවේය.
“මීට වසර තිහකට පමණ පෙර පුෂ්පා අයිරානි එක්ක මම විවාහ වුණා. වෘත්තීයෙන් මා ලිපිකරුවෙක්. මට එක පුතෙක්, දුවලා දෙන්නෙක් ඉන්නවා.
සිද්ධියදා උදේ මගේ හිතවතෙක් දුරකථන ඇමතුමක්දී දුව වැඩට යද්දී රිය අනතුරකට ලක්ව ඔරුවල රෝහලට ඇතුළත් කරලා ඉන්නවා කියලා කිව්වා. ඒ වෙලාවෙම මා ඔරුවල රෝහලට ගියා. ඒ යද්දී මම දැක්කා, වෛද්‍යවරු දුවට ප්‍රතිකාර කරනවා. ඊට ටික වෙලාවකට පස්සෙ ඔරුවල රෝහලෙන් අපට කිව්වා, වැඩිදුර ප්‍රතිකාර සඳහා දුව හෝමාගම රෝහලට මාරු කරනවා කියලා. ඒ අනුව දුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර එහි මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් හිටියා. පසුව අපට කිව්වා, ගෙදර යන්න කියලා .ඒ අනුව අපි ගෙදර ගියා .ඊට ටික වෙලාවකට පස්සෙ තමයි දුරකථන ඇමතුමක් දී රෝහලින් කිව්වේ දුව මිය ගියා කියලා. ඒ අනුව පොලිසිය නිලධාරීන් සමඟ මරණ පරීක්ෂණයට ආවා. දුවගේ දේහයේ හඳුනා ගත්තා. මරණය පිළිබඳ සැකයක් නෑ. මෘත දේහය අපි භාර ගන්නවා.”
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් මිය ගිය තරුණිය රිය අනතුරකට ලක්ව හිස මොට පෘෂ්ඨයක වැදීමෙන් මොළයට වූ බරපතළ තුවාල අභ්‍යන්තර රුධිර වහනය හා කම්පනය මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය. ඊට අමතරව රිය අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොලිසියට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත, පො. කො. (93408) සුබසිංහ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
කොට්ටාව ප්‍රදීප් කුමාර සහ නවගමුව සුගත් ප්‍රේමතිලක
නව අදහස දක්වන්න