ගල්කිස්සේ ලක්ෂ 60ක රන් හොරාගත් සැකකරු කුලුනෙන් බස්සවා අත්අඩංගුවට | දිනමිණ

ගල්කිස්සේ ලක්ෂ 60ක රන් හොරාගත් සැකකරු කුලුනෙන් බස්සවා අත්අඩංගුවට

ගල්කිස්ස පීරිස් මාවතේ පිහිටි එළවළු වෙළඳ සැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ එහි හිමිකරුගේ ගෙලට මන්නා පිහියක් තබා ඔහු පැලඳ සිටි රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සහ වෙළඳාමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 02කට අධික මුදලක් කොල්ලකා පලා ගිය ප්‍රධාන සැකකරු දෙහිවල විහාරස්ථාන භූමියක පිහිටි දුරකතන සමාගමකට අයත් කුලුනක නැඟ උපවාසයක නිරත සිටිය දී දැඩි පරිශ්‍රමයක් දරා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක් වන පොල්ගස්ඕවිට හල්පිට පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි.

කොහුවල පොලිසියෙන් සොරාගත් පිස්තෝලයක් පෙන්වමින් මංකොල්ලකෑම් කිහිපයක් සිදුකරමින් සිටිය දී කලකට ඉහතදීද මෙම සැකකරු පොලිසියට හසුවී ඇති බව ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා සඳහන් කළේය.

කොහුවල පොලිසියේ එවකට සිටි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් භාවිත කළ එම පිස්තෝලය සොරාගෙන තිබුණේ සිවිල් ආරක්ෂක සෙබලෙකි. එම ගිනි අවිය ඔහු විසින් මෙම සැකකරුට ලබා දී ඇති බව එකල අනාවරණය වී තිබුණි.

ගල්කිස්ස පීරිස් මාවතේ කොල්ලය සිදුවන්නේ පසුගිය මැයි 01 වෙනිදා මහා දවාලයේ දීය. එළවළු වෙළඳ සැලේ ඒ වන විට කාන්තාවන් කිහිප දෙනෙක් එළවළු මිල දී ගැනීමට රැඳී සිටින අවස්ථාවේදී කඩුවක් අතින්ගත් මෙම ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් එකවරම වෙළඳ සැලට කඩාවැදී එහි හිමිකරුගේ ගෙලට කඩුව තබා ගෙල බැඳි රන් මාලයත් අතේ පැලඳ සිටි පලඳනා දෙකක් කඩාගෙන ඇත. අනතුරුව ඔවුන් මේස ලාච්චුවේ තිබුණු මුදල් ලක්ෂ 02ක්ද කොල්ලකා පලා ගොස් තිබේ.මෙම සැකකරු කුලුනෙන් බස්සවා අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂාවේ දී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක්ද ඔහු සන්තකයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න