2023 මුල් මාස හතරට රට විරුවෝ ඩොලර් කෝටි 180ක් එවති | දිනමිණ

2023 මුල් මාස හතරට රට විරුවෝ ඩොලර් කෝටි 180ක් එවති

පසුගිය වසරේ පෙබරවාරියට සාපේක්ෂව 98.6%ක වර්ධනයක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කියයි

 

මේ වසරේ මුල් මාස හතරේ දී විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.8 (කෝටි 180) ඉක්මවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.  මේ වසරේ පළමු මාස හතරේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 1867.2ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 454ක් එවා තිබේ. එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමඟ සන්සන්දනය කර බලන විට සියයට 82.4ක ඉහළ යාමකි.

මේ වසරේ ජනවාරි මාසයේ දී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 427.5ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8ක වර්ධනයක් විය. පෙබරවාරි මාසයේ දී විදේශගත ශ්‍රමිකයන් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 98.6ක වර්ධනයකි.

පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 568.3ක මුදලක් එවා තිබුණි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5ක වර්ධනයකි. නීත්‍යනුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට, ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට මේ වන විට පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න