බිත්තර 24ක් එක්ක නාගයෙකු අල්ලා නිරුපද්‍රිතව මුදා හරී | දිනමිණ

බිත්තර 24ක් එක්ක නාගයෙකු අල්ලා නිරුපද්‍රිතව මුදා හරී

නිවසක් අසල ජීවත්වූ විශාල නාගයෙකු බිත්තර 24ක් සමග ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව මුදාහැරීමේ මෙහෙයුමක් පසුගියදා පයාගල පොතුවිල ප්‍රදේශයේදී සිදුවිය.

පොතුවිල පදිංචි පසන් රුක්මාල් නමැති අයගේ නිවස අසල දින කීපයක සිට නාගයෙකු ගැවසෙන බවට නිවැසියන් දැක ඇති අතර එම නාගයා පිළිබඳව අවධානයෙන් පසුවූයේ නිවසේ සිටින කුඩා දරුවන් ඇතුළු පිරිසට සහ ඒ අසල තිබෙන ලී මඩුවකට පැමිණෙන පිරිසට මෙම නාගයාගෙන් අනතුරක් සිදුවීමට ඉඩ ඇති බැවිනි.

දින කීපයක නිරීක්ෂණයෙන් අනතුරුව මෙම නාගයා එළිමහනේ සිට ඇදී යන්නේ ඒ අසලම පිහිටි කළුගලක් යටට බව නිවැසියන් තහවුරු කරගෙන ඇත. පසුව නාගයා එම ස්ථානයෙන් ඉවතට යන අවස්ථාවක් බලා ගල යට පරීක්ෂා කිරීමේදී දැක ගැනීමට ලැබී ඇත්තේ එම ස්ථානයේ නයි බිත්තර විශාල ප්‍රමාණයක් තිබෙන බවයි.

මෙම නාගයා එම ස්ථානය අවට සැරිසරන්නේ බිත්තර ආරක්ෂා කිරීමට බවත්,එම බිත්තර වලින් පැටවුන් බිහිවන තෙක් නාගයා එම ස්ථානයෙන් ඉවත් නොවන බවත්,මෙසේ නාගයා එළිමහනේ සැරිසැරීම නිසා නාගයාගෙන් කිසිවෙකුට අනතුරක් වීමටත්,කිසිවෙකුගෙන් නාගයාට අනතුරක් සිදුවීමටත් ඉඩ ඇති බවත්,එසේම මෙම බිත්තර වලින් නයි පැටවුන් බිහිවුවහොත් ප්‍රදේශයටම විශාල අනතුරු දායක තත්වයක් ඇතිවිය හැකි බවත් පසන් රුක්මාල් ඇතුළු පවුලේ අයට අවබෝධ විය.

මෙම අනතුරින් නිදහස් වීමට,නාගයා සහ බිත්තර සුරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කිරීම කළයුතු බවට තීරණය කිරීමෙන් අනතුරුව පසන් රුක්මාල් එම ප්‍රදේශයේම පදිංචි වෘත්තියෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සේවා නිලධාරියෙකු ලෙස කටයුතු කරන,දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මොක්ෂණ රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඔහුට මෙම නාගයා සහ බිත්තර පිළිබඳව දැනුම් දී එම නාගයා එම ස්ථානයෙන් ඉවත්කිරීමට ඔහුගේ සහයෝගය ඉල්ලා සිටියේ මීට පෙරත් මොක්ෂණ රාජපක්ෂ මහතා අනතුරට පත් සර්පයන් අනතුරුවලින් මුදාගැනීමටත්, අනතුරුදායක ලෙස ගැවසෙන සර්පයන් ඉවත්කිරීමටත් කටයුතු කර තිබීම නිසාය.

පසුදින එම ස්ථානයට පැමිණි මොක්ෂණ රාජපක්ෂ මහතා නාගයා සිටින ස්ථානය නිරීක්ෂණය කිරීමේදී ඒ වන විටත් නාගයා තම බිත්තර රකිමින් ගල යට සිටින අයුරු දැකගැනීමට ලැබී ඇත.

නාගයා ගල යට ඇතුළට වන්නට සිටින ස්ථානයට ළඟාවීමට නොහැකි නිසා එම ස්ථානයේ එක පැත්තක පස් ඉවත්කිරීම කළයුතු වූ නිසා නිවෙස් හිමියා විසින් වහාම බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් එම ස්ථානයේ පස් ඉවත්කිරීමට කටයුතු කළේය.

පසුව මොක්ෂණ රාජපක්ෂ මහතා එම ස්ථානයට ළඟාවී කෝටුවක් යොදා නාගයාට එම ස්ථානයෙන් ඉවතට ඇදී යාමට සලස්වා ඉවතට ඇදී යන විශාල නාගයාගේ නැට්ටෙන් අල්ලා නාගයාව තම පාලනයට ගෙන ලොකු ප්ලාස්ටික් බෝතලයකට නාගයාට ඇතුළුවීමට සලස්වා සුරක්ෂිතව අල්ලා ගනු ලැබීය.

නාගයා අල්ලා ගැනීමෙන් අනතුරුව නාගයා සිටි ගල යට පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ නයි බිත්තර 24 ක් තිබී හමුවී ඇත. පසුව එම නයි බිත්තර 24 ද සුරක්ෂිතව මොක්ෂණ මහතා තම භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූ මොක්ෂණ රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.නාගයා කියන්නේ උග්‍ර විෂ සහිත සතෙක් වුනාට නාගයන්ගෙන් මිනිස්සුන්ට අනතුර සිදුවෙන්නේ ඉතාම අඩුවෙන්.ඔවුන්ට අනතුරක් නොකරන තාක් ඔවුන්ගෙන් අපට අනතුරක් සිදුවෙන්නේ නැහැ.මේ නාගයත් තමන්ගේ බිත්තර දාන්න තෝරාගෙන තිබුනේ මේ දිනවල පවතින වර්ෂාවෙන් ආරක්ෂා වන ස්ථානයක්,කබරුන් මොණරුන් නොමැති ස්ථානයක් වගේම වෙනත් බාහිර අවධානම් අඩු ස්ථානයක්. සර්පයන් සෑම විටම බිත්තර රැකීම නොකළත් මෙම නාගයා සෑම අවස්ථාවකම තම බිත්තර රකින ගමන්ම ආරක්ෂා කිරීමට කටයුතු කළා.

 

බී.ටී. තඹවිට - මතුගම සමුහ

නව අදහස දක්වන්න