බළපිටිය බේරතුඩුව ප්‍රදේශයේ දී ගාලු පාරේ නවතා තිබූ බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් කළ ගාලු දිසාවේ සහාය දිසා කොමසාරිස්වරයකු මියගොස් ඔහුගේ දියණිය තුවාල ලැබ රෝහළට ඇතුළත් කර තිබේ. මියගිය අය අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමි විද්‍යාලයේ සහකාර විදුහල්පති ද වේ.
මෙසේ මියගොස් ඇත්තේ බළපිටිය සිරිසේන මාවතේ පදිංචිව සිටි අගම්පොඩි ගාමිණී සේපාල ද සොයිසා (57) නමැති තිදරු පියෙකි.
පෞද්ගලික උපකාරක පන්තියක සිට සිය දියණිය රැගෙන එද්දී ක්‍රියා විරහිතව පාරේ නවතා තිබූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බව පොලිසිය පවසයි.
මේ පිළිබඳ මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මිය විසින් බළපිටිය මූලික රෝහලේදී පැවැත් වූ අතර එහිදී මිය ගිය අයගේ බිරිය වන අම්බලන්ගොඩ ධර් මාශෝක මහා විද්‍යාලයේ ගුරුවරියක වන චතුකා සිරිවර්ධන මහත්මිය සහ සහෝදරයා වන ග්‍රාම නිලධාරි ඒ. කමල් ද සොයිසා මහතා ද සාක්ෂි දුන්හ.
බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. ඩී. ඒ. දිසානායක මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර හෙළිවූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව රිය අනතුරෙන් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් වූ මරණයක් බවට මරණ පරීක්ෂකවරිය තීරණය කළාය.
අහුන්ගල්ල සමූහ - අනුර යසමිත්
අම්බලන්ගොඩ ආර්. ඥානදාස
නව අදහස දක්වන්න