සිම්බාබ්වේහි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා මෙන්ම ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොටදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා 30කගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය නම් කරයි. මේ දිනවල ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දස්කම් දක්වන වේග පන්දු යවන මතීෂ පතිරණ මේ සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.
තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා නැති මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනීගේ ප්‍රබලතම තුරුම්පුවක් බවට පත්වෙමින් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිත් ඇදගත් පන්දු යවන්නා බවට පත්ව ඇති බැවින් ඔහු කෙරෙහි වැඩි දෙනකුගේ අවධානය යොමුව පවතී. ලබන සතිය අග වන විට තේරීම් කමිටුව නම් කරන අවසන් සංචිතයේ ස්ථානයක් වෙන්කර ගැනීමේ විශාල ඉඩක් මතීෂ පතිරණට ඇතැයි ක්‍රිකට් විචාරක මතය වේ. 20 හැවිරිදි මතීෂ නවසීලන්තයේ නිමාවූ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලට නම් කරනු ලැබුවද, තරගාවලිය අතරතුරදී කොරෝනා වැලඳීමෙන් පසු විවේක ගැන්වීය.
එමෙන්ම පසුගියදා නිමා වූ එංගලන්ත ලයන්ස් තරගාවලියේදී දස්කම් දැක්වූ පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ද මේ සංචිතයට කැඳවා ඇත. පා දඟ පන්දු යවන්නෙකු දස්කම් දක්වන උච්චතම අවස්ථාවේ සිටින 28 හැවිරිදි දුෂාන් හේමන්ත පසුගිය මාසයේදී පැවති අයර්ලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේ අතිරේක ක්‍රීඩකයකු ලෙස සිටි අතර, එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව තරග තුනකදී කඩුලු 11ක් දවා ගත්තේය. දැනට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරන වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවට හා නවසීලන්තයට එරෙහිව තරග කළ අවසන් තරග 5කදී ඕවර 44ක් යවා ලකුණු 238ක් දී එකදු කඩුල්ලක් හෝ දවාගෙන නැත. එබැවින් ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන්නාගේ ස්ථානයට වනිඳු හසරංගද? දුෂාන් හේමන්ත ද? යන ප්‍රශ්නයට විසඳුම් සෙවීම තේරීම් කමිටුවට ඇති අභියෝගයකි.
උරහිසේ ශල්‍යකර්මයෙන් අනතුරුව වසර 2කට පසු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා හා 2019න් පසු එක්දින පිටියට පිවිස නැති සධීර සමරවික්‍රම පිතිකරණ භූමිකාව වෙනුවෙන් සංචිතයට කැඳවා ඇත. වසර දෙකකට පසු නවසීලන්තයේදී නැවතත් සුදු පන්දු ක්‍රිකට් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට ද අවස්ථාව හිමිව තිබේ.
කුසල් ජනිත් පෙරේරා පසුගියදා පැවති නවසීලන්තය සමඟ විස්සයි20 තරගාවලියට එක්වූ අතර, එම තරග තුනේදී අර්ධ ශතකයක් සමඟ ලකුණු 121ක් රැස් කළේය. ඔහු ඉදිරියේදී එක්දින ක්‍රිකට් පිලට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවේ.
ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්තයේදී එක්දින තරග 2කට සහභාගිවී ලකුණු 18ක් පමණක් ලබා ගත්තද සිය ස්ථානය රැක ගැනීමට තවදුරටත් සමත් වනු ඇත. එයට හේතු වන්නේ මැතිව්ස් වත්මන් සංචිතයේ සිටින ජාත්‍යන්තර එක්දින තරග 220කට සහභාගීවී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 41.21ක් රඳවාගත් එකම පිතිකරුවා ද වන බැවිනි.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු වළලුකර සැත්කමෙන් සුවය ලබා වේග පන්දු යවන දුෂ්මන්ත චමීර පැමිණ සිටින අතර, තවමත් ශ්‍රී ලංකා වරම් දිනා නැති මද වේග පන්දු යවන මිලාන් රත්නායක හා පිතිකරණයේ දස්කම් දක්වන ලසිත් කෘස්පුල්ලේ හා සහන් ආරච්චිගේ ද සංචිතයේ සිටිති. කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක හා ළහිරු කුමාර යන වේග පන්දු යවන්නන් තිදෙනාට අමතරව චාමික කරුණාරත්න ද නම් කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මූලික සංචිතය මෙසේය:
පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා - උප නායක), ඇන්ජලෝ මැතිව්ස්, නුවනිදු ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂාන් හේමන්ත, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම.
ප්‍රින්ස් ගුණසේකර
නව අදහස දක්වන්න