නුඹ චන්ද්‍ර මඬල වැන්නේ - සා පැටව් එහි නිදන්නේ | දිනමිණ

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ - සා පැටව් එහි නිදන්නේ

ඒ කාලයේ දහවල් දොළහට, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ පොලිසියෙන් පුවත්ය. මුලින්ම ගම කියා පසුව අතුරුදහන් වූ පුද්ගලයා ගැන කියැවෙන පුවත්, මේ ඔස්සේ විකාශනය විය. “අවසන් වරට දකින විට සුදු පැහැති ගවුමක් ඇඳ සිටි අතර, කොණ්ඩය දිගට වවා ගොතා තිබුණි. නිකටේ වම් පස උපන් ලපයක් පිහිටා තිබේ...” ආදී ලෙස, අතුරුදහන් වූ තැනැත්තාගේ මූලික විස්තර රාශියක් එයින් ප්‍රකාශ විය. මේ දිනවල රට පුරාම හිරිමල් තරුණියෝ අතුරුදහන් වන තරමට, ඒ තොරතුරු දැනුම් දීමට, වෙනම නාලිකාවක් වුවද ආරම්භ කළ හැකිය. හැරයෑමක් ලෙස පවුල පැත්තෙන් මේ ගැන පැමිණිලි ගලා ආවද, එසේ ගොස් ඇත්තේ තවත් හමුවීමක් සඳහා බව, මෙම ‘ආගිය ආතක්’ නැති සිද්ධි දෙස බලන විට පෙනේ. ඕවා රජ කතාන්දරවල සිට ඇදෙන කතාය.

ගෙදර සිටි දුව, හිටි හැටියේ නැත. උදේ උයා පිහා, දවල්ට ඔෆිස් ගෙන යෑමට ‘කෑම එක ද’ බෑගයට දමා දුන් බිරිය, සවස ගෙදර එන විට, අලුතෙන් හදන එහා පැත්තේ ගෙදරක් සඳහා අත්උදව් දෙන්නට ආ කොලු ගැටයෙක් සමඟ පැන ගොස්ය. මේ පවුල ‘අවුට් ඩේටඩ්’ බැවින් ‘අප්ඩේට් වර්ෂන්’ එකක් සොයා එසේ ගිය අය ද මාසයක් දෙකක් යනකං, අතුරුදහන් ලැයිස්තුවේ රැඳෙන්නේය. ඉන්න තැනක් ගැන ලැබෙන ඔත්තුවක් මත, සමහරු ගැන විස්තර එළියට එයි. ‘අලුත් එකා’ යන යන තැන ඒ වගේ කේස් දමාගෙන, මාසයකට එහෙම එකෙක් දෙන්නෙක් මාට්ටු කරගෙන, එන එකෙක් බැව් දැන ගෙන, යළිත් ගෙදර පැමිණෙන අය ද සිටියි. එවැනි අන්තර්කාලීන සුහද මාරු සඳහා සමාව දී, ආයෙත් ගෙට ගෙන සුපුරුදු ලෙස දීග කන පවුල් ද තිබේ. ජාතක පොත කියවා නොව, එම්. එස්. ප්‍රනාන්දුගේ ‘සමහර තරුණ තරුණියන්ට රැවටිලා’ යන ගීතය නිසා මේ රටේ බොහෝ දෙනෙක් චුල්ලපදුම ජාතක කතාව අසා ඇත්තේය.‘එදා චුල්ලපදුම රජතුමාගේ බිසවට...’ ගණයේ ආදර කතා, අද දවසේ පොත් ගාණකට ලිවීමට ගොඩ ගැසී තිබේ.

ලෝක පවුල් දිනය අදය. ‘පවුල වැදගත් දෙයක් නොවේ. එය සෑම දෙයක්ම වේ.’ යැයි මයිකල් ජේ. ෆොක්ස් ප්‍රකාශ කළේය. 1994 වසරේ මැයි 15 දින පළමුවෙන්ම, ජාත්‍යන්තර පවුල් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තෝරා ගත්තේය. අදට යෙදෙන පවුල් දිනයේ කතාව කීම, පටන් ගත යුත්තේ ඊයෙනි. ලෝක මවුවරුන්ගේ දිනයට පසුදා පවුල් දිනය යෙදී තිබීම, අර්ථාන්විතය. ඇත්තම කතාව නම් පවුල නම් වැල, එතී පැතිර යන්නේ, මවුවත් ගුණය ඔස්සේය. එහෙම බලන විට මේ දින දෙක එක ළඟ යෙදීම නොව, එකක් උඩ එකක් යෙදුණා නම් වඩා හොඳය.

පවුලක ඕනෑම කේස් එකකදී ‘හයිලයිට්’ වන්නේ ගැහැනුන්ය. කත දෙස කැත විදිහට පළමුව බලන්නේ ද කාන්තාවෝය. ‘හෝදා ගෙට ගත හැකි’ යැයි අමුතු කතාවක් ගොතා, පිරිමින්ගේ පව් වතුරෙන් දිය කර හරිනා සමාජයක, පවුල යන්න තනි ගැහැනියක් වෙත භාරදී හමාරය. ගැහැනියගේ පතිවතේ සහ කැපවීමේ, පවුලේ සියලු බර පහසුවෙන් ගසා, හවසට අඩියක් ගසා ගෙදර යන විරෝදාර ස්වාමි පෙළැන්තිය, කරන සියල්ල හොඳය. දියණියෝ පමණක් දිගින් දිගටම අතුරුදහන් වන්නේ, ඔවුන් තනියෙන් පැන යන්නා සේය. තවත් පවුලක කොල්ලෙක් ඒ සඳහා සිටිය යුතුමය. ඒත් කොල්ලෙක් අතුරුදහන් වන්නේ කලාතුරකිනි. එසේ වන්නේ ද මෙවැනි කේස් සඳහා නොවේ. විවාහ පත්වූ කල්හි එය පවුලකි. ඒ පවුලේ පුරුෂ ප්‍රාණය, සිය බිරිය ගැන සඳහන් කරන්නේ ‘අපේ පවුල’ කියාය. ඒ අර්ථයෙන් වුවද ගැහැනිය යනු පවුලය. අම්මාගේ පෙකණිය දැරුවා උපන් මොහොතේ, ඒ බන්ධනය සිඳින්නේ මුත්, එය ඉන් පසු පවුල වටාම ගැට ගැසෙන්නේය. මෙය ගෞරවනීය කතාවක් වුවද, එය වාසියට හෝ සිය කුසීතභාවය උදෙසා පාවිච්චි කරන ‘පවුල්කාරයෝ’ බොහෝය. මේ නිසා පවුලේ තනි බර අම්මා වෙත නොදා, දැරිය හැකි බරක් ඇය මත්තේ පැටවීම, පවුලේ අනාගතය සඳහා සුබදායකය.

පවුලේ ඛේදවාචකය ආරම්භ වන්නේ බොරුව නිසාය. ගෙදරට තරම් කිසිවෙක්, අන් කිසි තැනකට බොරු කියන්නේ නැත. එහෙම බලන විට බොරුව වටා ගෙතුණු අවුලක් මිස, පවුලක් කියා දෙයක් සමහර තැන්හි ඇත්තෙම නැත. පවුල සවිමත් කරන ව්‍යායාමය ආරම්භ කළ යුත්තේ සත්‍යය ලෝකය තුළ පවුල ජීවත් කරවීමෙනි. ෆෝන් එක සාලයේ දමා, බාත්රුම් එකට යෑමට නොහැකි තත්ත්වයක් සමහරුන්ට තිබේ. ගෙදර යෑමට පෙර, ලැබුණු ඇමතුම් සහ වට්ස් ඇප් මැසේජ් ‘බර ගණනක්’ ඉරේස් කරන්නේ, ඒ බොරුව නිසාය. සමහර කෝල් ගෙදරදී ආන්සර් කළ නොහැකිය. මෙවැනි සිල් බිඳගත් රාමුවක් තුළ, පවුල නොව තමන් ද ජීවත් වන්නේ ලෝක දෙකක බව පවුල්කාරයා දැනගත යුතුය.

සත්‍ය හෙවත් විශ්වාසය නොමැත්තේ ද, එතැන කිසිවක් පවතින්නේ නැත. පවුල නම් මනහර ලෝකයෙන් පිට වෙනත් ලස්සන තැන් ඇත්තේ නම්, ඒ පවුල සමඟම එහි යෑමට හෝ නැරඹීම සඳහාය. එයින් තොර කේවල ලස්සනක්, සතුටක් පවුල්කාරයෙකුට ඇත්නම් ඒ පවුල ‘ෆවුල්’ ය. ඉංග්‍රීසියෙන් කුකුළාට සහ වැරැද්ද යන දෙකටම, අකුරු ආකාර දෙකක් වුවද කියන්නේ ෆවුල් කියාය. මේ නිසා හැම විටම පවුල් ලෙස ජීවත්වීමට ‘ෆවුල්’ නොවිය යුත්තේය. එහෙම බැරි එකෙක් වේ නම් පවුල් නොවිය යුත්තේය.

නව අදහස දක්වන්න