සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් සිය කැපවීම යළි සනාථ කරයි | දිනමිණ

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට එමිරේට්ස් සිය කැපවීම යළි සනාථ කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සිය අඛණ්ඩ කැපවීම නැවත වරක් ප්‍රකාශ කරමින් එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙරට සංචාරක මෙන්ම වෙළඳ අංශ වර්ධනය උදෙසා නිර්මාණය කර තිබෙන වැඩසටහන් මාලාවක් ආවරණය කරන මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට දැනටමත් වසර 37ක් පුරා ලබා දී ඇති එමිරේට්ස් සහයෝගයෙහි කොටසකි.

මෙම ගිවිසුම එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ මෙහෙයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති - බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය අහ්මඩ් කූරි සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂිකා K.P.P. සිරිවර්ධන මහත්මිය විසින් 2023 අරාබි සංචාරක වෙළෙඳ පොළ (ATM) ප්‍රදර්ශනයට සමගාමීව අත්සන් තබනු ලැබීය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍ය ( හරීන් ප්‍රනාන්දු , එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ ශ්‍රී ලංකාවේ තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී අඩ්නාන් කසීම් සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළමනාකරු චන්දන ද සිල්වා සහභාගි වූහ. 2022 වසරේ එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇති කරගත් උපක්‍රමශීලී සහයෝගිතාව තර කිරීමක් ලෙස සැලකෙන මෙම නව අවබෝධතා ගිවිසුමෙන් දිවයිනට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩි කිරීමට දෙපාර්ශවය සිදුකරන අලෙවිකරණ සහ ප්‍රවර්ධන ප්‍රයත්න ආවරණය වේ. මේ යටතේ එමිරේට්ස් සමාගම විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ජත්‍යනන්තර සංචාරකයින් මෙන්ම ප්‍රධාන විදේශීය වෙළඳපළ වල එමිරේට්ස් ඒජන්තවරුන් දැනුවත් කිරීමට වැඩසටහන් පවත්වනු ඇත. ඊට අමතරව විවිධ සංචාරක කොටස් ආකර්ෂණය කිරීමට හැකිවන විශේෂ පැකේජ නිර්මාණය කිරීමට ද එමිරේට්ස් සමාගම කටයුතු කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් ගුවන් සමාගමේ වාණිජ අංශයේ බටහිර ආසියාව සහ ඉන්දියානු සාගර කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපති, අහමඞ් කූරි ප්‍රකාශ කළේ එමිරේට්ස් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් මීට අවුරුදු 37කට පෙර ආරම්භ කළ බවත්, අදත් ගුවන් සමාගමේ දකුණු ආසියානු ජාලයේ ශ්‍රී ලංකාව වැදගත් ගමනාන්තයක් වන බවයි. ”මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ සංචාරක සහ වෙළෙඳ අංශ වර්ධනය සඳහා ප්‍රමුඛ දායකයෙක් වීමට එමිරේට්ස් හි කැපවීම විදහා දක්වනවා. ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමටත් වැඩි වන ඉල්ලුම සඳහා සේවා සැපයීමටත් අපි බලාපොරොත්තු වනවා,” යැයිද කූරි ප්‍රකාශ කළේය.

 

නව අදහස දක්වන්න