පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාවයි | දිනමිණ

පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධවීමට තරුණ නියෝජිතයින්ට අවස්ථාව සලසා දුන් ලොව පළමු රට ශ්‍රී ලංකාවයි

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් මේ රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
 
2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂී පියවරක් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එය මෙතෙක් ලොව කිසිඳු රටක සිදු නොවුවක් බව ද අවධාරණය කළේය.
 
තරුණ පරපුර ඉල්ලා සිටි ක්‍රම වෙනස මෙය වන අතර එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීහු සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරි පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද මෙහිදී දහස් දැක්වූහ.
 
පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සදහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 – 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුව සදහා ආරාධනා කරනු ලැබීය.
 
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කෙරේ.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය
 
අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක වන්නේ.
 
පාර්ලිමේන්තු කොමිටියකට, ඇමරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගිවිය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාව සැලසී තිබෙනවා.
 
අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට කොමිටියේ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව ඔබේ අදහස්ද එහි ඇතුළත් කිරීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දකින්නේ සභාගර්භයේ ඇතුලේ වාද විවාද කරන එක, ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක විතරයි. එහෙත් අද ඕනෑම පාර්ලිමේන්තුවක කටයුත සිදු වන්නේ කමිටු මාර්ගයෙන්. අධික්ෂණ කමිටු, මුදල් කමිටු ලෙස කමිටු ගණනාවක් තිබෙනවා.
 
අපි මුදල් අනුමත කරනවා නම් එම මුදල් වියදම් කිරිම පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන්න අධීක්ෂණ කමිටු තිබෙනවා, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කමිටු වගේ කමිටු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සභාගර්භයට ඇතුල් වි කථා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හා ආලින්දයට පැමිණීම හැර අනිත් සියලු කටයුතුවලට ඔබට සහභාගිවීමට අවස්ථාව තිබෙනවා. මෙය ලෝකයේ පළමු වතාවටයි සිදුව තිබෙන්නේ.
 
අපි මේ වැඩසටහන ආරම්භ කරද්දි ඇතැම් අය කිව්වා මේක මහා බොරු වැඩක්, කාලය නාස්ති කරන වැඩක් කියලා. ඇතැමුන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මොකක්ද කියලා. එහෙත් පිරිසක් බය නැතිව තමන්ගේ නම් ඉදිරිපත් කළා. ඒ අයගෙන් තමයි හොඳම 535 දෙනා අපි මේ සඳහා තෝරගෙන තිබෙන්නේ.
 
ඔබ සියලු දෙනා මේ සඳහා සහභාගී වී මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පසුව අනිත් පිරිසත් අපිට මේ සඳහා තෝරාගත හැකියි. මෙම නියෝජිතයන් තෝරා ගැනීම මෙවර ගැටලුවක් නොවුවත් දහස් ගණනක් අතරින් මෙම පිරිස තෝරාගැනීම ඉදිරියේ දී විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මෙම වැඩසටහන් සඳහා තමයි අපි අපේ අවධානය යොමු කළ යුතු වන්නේ.
 
ඔබට අද මෙම අවස්ථාව ලැබී තිබෙනවා. කිහිප දෙනෙකුට පමණයි ඉතිහාසයේ මෙම අවස්ථාව ලැබුණේ. මම වාසනාවන්ත වුණා වයස අවුරුදු 28 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිකමක් ලබාගැනීමට. ඊට පෙර එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග පාර්ලිමේන්තුවට පැමිණි නිසා පාර්ලිමේන්තුව කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියා අපට දැනගැනීමට පුළුවන් වුණා. එහෙත් බොහෝ දෙනෙකුට එම අවස්ථාව ලැබී නැහැ. අද එම අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. එයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න කියා මම කියන්න කැමතියි.
 
පසුගිය වසරේ විශාල කැළඹීමක් මේ රටේ තිබුණා. එම අවස්ථාවේ දී තමයි මම හිටපු කථානායක කරූ ජයසූරිය මැතිතුමා සමග සාකච්ඡා කළේ මොකක්ද මෙයට අපි ලබාදෙන පිළිතුර කියලා. මෙයට පෙර කෑ ගහපු එකකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ.
 
පාර්ලිමේන්තුවේ 225ම දියවන්නා ඔයට දාන්න කිව්වා. එහෙම කළානම් වෙන්නේ පරිසරයට හානියක් වෙන එක විතරයි. කොහොමත් අනිත් පක්ෂවලින් තව 225ක් මෙතනට දානවා. ඒ නිසා එය ඇත්ත වශයෙන්ම විසඳුමක් නොවෙයි. ගෙවල් ගිනි තියන එකත් විසදුමක් නොවෙයි. පාර්ලිමේන්තුව වට කරලා අල්ල ගන්න හදන එකත් විසඳුමක් නොවෙයි.
 
එදා ප්‍රශ්න තිබුණා. ඇයි අපි බංකොළොත් රටක් බවට පත් වුණේ. අපේ ආර්ථිකයට මොකක්ද වුණේ. ඒ ප්‍රශ්න ඇසීමට සිදු වෙනවා. මම කුඩා කාලයේ ලංකාව ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අපි අද කොතනද ඉන්නේ.
 
ඒ අනුව තමයි අපි කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා මමත්, කරු ජයසුරිය මැතිතුමත් එක්ව සාකච්ඡා කළේ. එතුමා තමයි පසුව මට කතා කරලා කිව්වේ අපි අධීක්ෂන කාරක සභා සහ අනිකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් ඇතුළත් කරමු කියලා.
 
මම කිව්වා ඒ ගැන මට වාර්තාවක් දෙන්න කියලා. මම ඒක කතානායකතුමාටත් දුන්නා. පක්ෂ නායකයන් ගත්තත්, කැබිනට් මණ්ඩලය ගත්තත් දැන් ඔබ සියලුදෙනා මීට ඇතුළත් වී තිබෙනවා. අපි එතුමාට විශේෂයෙන්ම ස්තුති කළයුතුයි මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව.
 
මම හිතන්නේ නැහැ ඔබට මේ ලැබී තිබෙන අවස්ථාව වෙන කිසිවෙකුට ලැබෙයි කියලා. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොළොත් වෙලා මේ ක්‍රමවේදය සමග තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි කියලා සිතුන අවස්ථාවක විශාල ප්‍රතිව්‍යුහගත කිරිමක් කරනවා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවා, වියදම් අඩු කරනවා, අලුත් ක්‍රමවේද එනවා. දැන් මිල සුත්‍රවලින් තමයි ඉන්ධන ලබා දීම සිදු වන්නේ. ඒ සමඟම අපේ සංස්ථා ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන සිතන්න තිබෙනවා.
 
විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ නිති 05ක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන නීති 03ක්, 04ක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තවත් නව නිති ගණනාවක් තිබෙනවා. එසේනම් මේ පිළිබඳ සාකච්ඡා කිරිමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.
 
ඔබ කොහොමද මුදල් වියදම් කරන්නේ, ඇයි මේ විෂයට මුදල් ලබා දුන්නේ, ඇයි අනිත් විෂයයන්ට මුදල් ලබා නොදුන්නේ මේ සියල්ල ඔබට දැන ගන්න පුළුවන්. ඔබට උදව් කිරිමට දැනට පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු අය වැය කාර්යාලය කියලා අලුත් එකක් අපි ඇති කරනවා. අනිකුත් අමාත්‍යාංශවලිනුත් සහාය ලබාගත හැකියි. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රයක් බවට පත්කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. එසේනම් ඔබට අවස්ථාව තිබෙනවා මෙයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගැනිමට.
 
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ලෙස, සභාපතිවරු ලෙස අපිට එම වැඩකටයුතු කිරීමට තිබෙනවා. අපි සෑම අවස්ථාවකම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙය මත ගැටුමක් බවට පත්කරගත්තේ නැහැ. සමහර විට පක්ෂ ගැටුමක් වුණා, මන්ත්‍රී ගැටුමක් වුණා. අපි දැන් මෙය මත ගැටුමක් බවට පත්කරගත යුතුයි. මේ අධීක්ෂණ කාරක සභාවේ සභාපත්වරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් යුතුකමක් තිබෙනවා එම රැස්වීම් පැවැත්වීමට, ඒ වගේම ඒවට සහභාගී විමට. එදිනෙදා කටයුතු පිළිබඳ පමණක් නොවෙයි, ඒ වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළයුතුයි.
 
මම කථානායකතුමාට යෝජනා කරනවා සෑම මාසයකම මේ කමිටු රැස් විය යුතුයි. රැස් වීමට නොහැකි වුවහොත් ඒ සභාපතිවරයාගෙන් කරුණු විමසිය යුතුයි කියලා. මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැත්නම් එය සොයා බැලිය යුතුයි. මාස දෙකක් පමණ එය සිදුවන්නේ නැත්නම් ඒ අය මාරු කරන්න. නැත්නම් මේ පිරිසට තිබෙන අවස්ථා අහිමි වෙනවා.
 
මෙම ලැබී ඇති අවස්ථාවෙන් ඔබ සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න. මෙය ඓතිහාසික අවස්ථාවක්. පළමු වතාවටයි පාර්ලිමේන්තුවක් මෙලෙස නියෝජිතයන් පත් කරන්නේ. මෙය කොතැනකවත් සිදු වී නැහැ.
 
අපේ පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තුවක්. එහි අතීතය 1835 දක්වා දිව යනවා. අපිට වඩා පැරණි පාර්ලිමේන්තු කීයද තිබෙන්නේ, එංගලන්තයේ තිබෙනවා, ඇමරිකාවේ තිබෙනවා, ඩෙන්මාර්කයේ, ස්විස්ටර්ලන්තයේ තිබෙනවා.
 
මේ පාර්ලිමේන්තුවේ විවිධ වැඩසටහන් සිදු කර තිබෙනවා. අද තිබෙන්නේ අලුත් ක්‍රමවේදයක්. මේ පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු කණ්ඩායමටත් දැනුම් දීලා ඒ අයටත් එන්න කියන්න පුළුවන්. ඒ වගේම මම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් දැනුම් දෙනවා, යුරෝපීය පාර්ලිමේන්තුවෙන්, ඇමරිකාවෙන් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට අපට සහාය ලබාගත හැකියි. ඒ වගකිම් ඔබට ලබා දී තිබෙනවා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ තරුණ නියෝජිතයන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරගෙන යන්න. අපි මෙතනින් මේ වැඩකටයුතු අවසන් කරන්නේ නැහැ. අපි කොහොමද සංවර්ධිත රටක් බවට පත්වන්නේ. හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න බැහැ.රටට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ සඳහා හොද ආර්ථිකයක් තිබෙන්න ඕන, නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා ඔබේ අදහස් ලබාදෙන්න.
 
විශේෂයෙන්ම කරූ ජයසූරිය මැතිතුමා ජන සභා පනත ගෙන එනවා සෑම ග්‍රාමසේවා කොට්ටාසයකම ජනසභාවක් ඇති කිරීම සදහා. එමගින් තරුණ තරුණියන්ට සහභාගිවිය හැකි තවත් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. යොවුන් පාර්ලිමේන්තුව සදහා තේරීම් බොහෝ දුරට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමින් තරුණ සංවිධාන සියල්ලම එකතු කරගෙන එම තේරිම් සිදුකිරීම පිළිබඳ ජාතික තරුණ සේවා සභාව දැන් සාකච්ඡා කරමින් සිටිනවා.
 
තවත් නව පියවර ගණනාවක් තිබෙනවා. මෙම ක්‍රමවේදය වෙනස් කළයුතුයි. එය සිදු කළ හැක්කේ ව්‍යවස්ථාව අනුවයි. ඊළග පාර්ලිමේන්තුව පත්වන තුරු බලා නොසිට දැන් අවස්ථාව තිබෙනවා එකට එකතුවී මේ වැඩකටයුතු සිදු කිරීමට. එසේනම් මේ අභියෝගය අපි භාර ගනිමු. ඒ සඳහා සාර්ථක විසඳුම් ලබා දෙමු. තවත් වසර 25කින් ඔබ සියලුදෙනාට කිව හැකියි අපි ගත් පියවර නිසා තමයි අද ලංකාව දියුණු රටක් බවට පත්ව තිබෙන්නේ කියලා.
 
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
 
සුවිශේෂ අවධියකට දැන් අප සියලු දෙනා පිවිස තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම කාර්යය ඉටු කිරීමට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට අද හැකියාව ලැබී තිබෙනවා. අධීක්ෂණ කාරක සභා 17ක් සදහා පන්සියයකට අධික තරුණ නියෝජිත පිරිසක් අද එක්ව සිටිනවා.
 
තරුණ තරුණියන්ට මෙම අවස්ථාව සැලසීමෙන් අලුත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට අප පිවිස තිබෙනවා. සහභාගී ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අලුත් දේශපාලන පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට අප දෙපාර්ශ්වයටම වගකීමක් තිබෙනවා.
 
තරුණයන්ට ඡන්ද බලය ලබා දී වසර 60ක් ගත වුණා. මුලින්ම තරුණ පරපුරට ඡන්ද බලය තිබුණේ නැහැ. 1960 දී තමයි පළමු වරට තරුණ පරපුරට ඡන්ද බලය ලබාදීමේ නීතිය සම්මත වුණේ.
 
රටේ සම්පත් නිසි ලෙස භාවිතා නොකිරීම නිසා විශාල නාස්තියක් සිදු වුණා. රටේ සම්පත් පිළිබඳ අධීක්ෂණයක් තිබුණේ නැහැ. උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ගේ දායකත්වය, යෝජනා සාකච්ඡා කිරීම පමණක් නොව, ඒවා ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව තිබෙනවා.
 
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අවශ්‍ය අඩුපාඩු තිබෙනවා නම්, ඒවා සාකච්ඡා කිරීමට විවෘත විය යුතුයි. මෙම වැඩසටහන සාර්ථක කළ හැකි වන්නේ එවිටයි. රටේ නීතිය ස්ථාපිත කිරීම, දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම මෙන්ම අලුත් ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යා යුතුයි.
 
ඉදිරි ලංකාව ගොඩනැගිම සඳහා පැහැදිළි සහභාගීත්වයක් ලබාදීම ජාතික කර්තව්‍යයක් ලෙස සිතන්න. එදා සිටම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අප රටට විශාල සහායක් ලබා දෙමින් සිටිනවා. එම සහාය තුළින් අලුත් සහභාගීත්වයේ ප්‍රතිඵල ගෙනෙන්නට හැකි වෙනවා. අපට ජය ගන්න තිබෙන අභියෝග වැඩියි. අභියෝග ජය ගැනීමට උනන්දුවෙන්, කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් දායකත්වය ලබා දෙන්න.
 
නිර්මාණශීලීත්වය තුළින් අලුත් ගමනක් යා හැකියි. ඉදිරි අභියෝග පිළිබඳව සරලව සිතන්න එපා. අධ්‍යාපනය අතහැර යන, සාමාන්‍ය පෙළින්, උසස් පෙළින් අසමත් වන පිරිස් ලක්ෂ ගණනක්. මේ තරුණ පරපුරේ ප්‍රශ්නය දිහා අලුතින් සිතා බැලිය යුතුයි. ඒ සදහා ඔවුන්ට අවශ්‍ය පුහුණුව සහ තාක්ෂණික දැනුම ලබාදීමට ජනාධිපතිතුමා පියවර ගනිමින් සිටිනවා. සාම්ප්‍රදායික චින්තනයෙන් වෙනස් වෙලා අධීක්ෂණ කාරක සභාවල දරන මතය, යෞවනයන්ගේ යෝජනා රටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් කර ගනිමු.
 
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
 
අප රටේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයකට පාර්ලිමේන්තුව සහභාගි වීම සතුටට කරුණක්. ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි තරුණ නියෝජනය මේ සඳහා යොදා ගනු ලැබුවේ. ඈත අතීතයේ යොවුන් පාර්ලිමේන්තුව, ජාතික තරුණ සේවා සභාව ඇති කළේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. තරුණ පරපුරේ අදහස් හා යෝජනා රටේ පාලනයට අවශ්‍යයි කියලා එතුමා හැමදාම කල්පනා කළා. මේ කටයුතු සාර්ථක කර ගන්නත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාත් විශාල දායකත්වයක් ලබා දුන්නා.
 
අපේ රට ඉතාමත් අවාසනාවන්ත යුග කිහිපයක් පසු කරමින් ඇවිත් තිබෙනවා. රටේ තරුණ කැරලි දෙකකට මුහුණ දුන්නා. තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. රටේ කටයුතු යථාවත් කර ගැනීමට අවසානයේ අද විවිධ අත්හදා බැලීම් සිදු කරමින් සිටිනවා. පසුගිය කාලයේ රට විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒකට විසඳුම හැටියට සමහරු කල්පනා කළේ අරගල කිරිමයි, ගෙවල් ගිනි තැබීමයි. අවසානයේ රට කොතැනටද ගියේ. කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මෙවැනි යුගයක් පසුකරලා තමයි අද රට මෙතැනට පැමිණ තිබෙන්නේ.
ආංශික කාරක සභාවල ආගන්තුක නියෝජිතයන් විදිහට ඔබ පත් කර තිබෙනවා. රටේ සිදුවන සෑම පනතක්ම, නීතියක්ම ආංශික කාරක සභාවේ දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න කලින් අඩුපාඩු සාකච්ඡා කරනවා. අවසානයේ පාර්ලිමේන්තුවට ගෙන එනවා.
 
එම තැනට තමයි තරුණ තරුණියන්ගේ අධ්‍යයනයකින් කෙරෙන බුද්ධිමය සංවාදයක් අවශ්‍ය. එමගින් රටේ අනාගත වැඩපිළිවෙළ සකස් කිරීම, නිවැරදි කිරීම සහ මනා ලෙස ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙනවා.
 
මේ සෑම දෙනාගේම අදහස් රටට වැදගත්. කැරලිවලට, යුද්ධවලට මුහුණ දීලා රට ආර්ථිකමය වශයෙන් කඩාවැටිලා. නමුත් අපට ශක්තියක් තිබෙනවා, වටිනා පරිසරයක් තිබෙනවා, බුද්ධිමත් ජනතාවක් සිටිනවා. එහෙම රටක් තවත් කෙනෙක් ඉදිරියේ දණගැසිය යුතු නැහැ.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
 
බොහෝ විට දකින්න ලැබෙන දේශපාලන කේෂ්ත්‍රයේ කතාව එකක්. ක්‍රියාත්මක කිරීම තව එකක්. ආරම්භය සුබවාදී වගේම, ක්‍රියාත්මක කිරීමේදී මෙම වැඩසටහන ප්‍රබුද්ධව, කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ හැරවුම් ලක්ෂයකට අද දිනය පත් වෙයි කියා මම විශ්වාස කරනවා.
 
විපක්ෂය විදිහට මේ ක්‍රියාදාමය අප දකින්නේ ඉතා සුබවාදීවයි. විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩුකම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ නිවැරදි, සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකියි. හොඳ දේ හොඳ යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතුයි.
 
ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුදෙනා ගත් මේ තීරණය ඉතා සුබවාදී දෙයක්. බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කළ යුතුයි. ත්‍රෛයිපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය,
 
ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පිළිගන්නවා. එහි බලය බෙදී යෑම තිබිය යුතුයි. මේ ආයතන තුන අතර සංවරණ සහ තුලනය ඉතාමත්ම වැදගත්. අද මේ රටේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 කට තරුණ තරුණියන් 530 ක් සහභාගි වන්නේ එම සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනාලෙස ක්‍රියාත්මක කිරීමටයි.
 
අද මේ ගත් පියවර ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී මේ ක්‍රියාව ශ්‍රේණිගත කිරීමක් හැටියට ගත හොත් ශ්‍රී ලංකාව ඉන්නේ පළමු ස්ථානයේ. තාරුණ්‍යයට සවන්දෙන, තාරුණ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සහභාගීත්වය ලබා දෙන ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය විදිහට මෙය හඳුන්වන්න පුළුවන්.
 
ඒක බොහොම සතුටට කාරණයක්. අවස්ථා ගණනාවක් මේ රටේ තරුණ කැරලි ඇති වුණා. ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. ප්‍රතිපත්ති, න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා මත සිටියත් රටේ පොදු යුතුකම උදෙසා එකට එකතු වීමේ කාලය එළැඹ තිබෙනවා. එය රටට අගයක් එකතු කිරීමක් මිස තනතුරු තාන්න මාන්න පට්ටම් බෙදා ගැනීමට නොවිය යුතුයි. මේ ගනු ලැබූ ප්‍රශස්ත පියවර තවදුරටත් ඉදිරියට ගෙන යෑමට කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා.
 
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මහත්මිය
 
ආංශික අධීක්ෂණ කමිටුවල තරුණ නියෝජිතයන් සඳහා වූ වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ව්‍යවස්ථාදායකය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව අපි තරයේ විශ්වාස කරන නිසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පාර්ලිමේන්තු ශක්තිමත් කිරීමේ මුලපිරීම් සඳහා සහාය දක්වනවා.
 
ලෝකය පුරා පාර්ලිමේන්තු සමඟ පවතින අපගේ ගෝලීය සහයෝගීතාවය නිසා පාර්ලිමේන්තුවේ සියලුම මූලික කාර්යයන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම කාර්යයන්ට නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය විමර්ශනය ඇතුළත් වෙනවා. එසේ කරන අතරම, පොදු ජනතාව මේ සඳහා දායක කරගැනීමේ හැකියාව සහ නියෝජනය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විනිවිදභාවයකින් යුත් පාලන ක්‍රියාවලීන් සහ එහි ක්‍රියාකාරීත්වයේ සඵලතාවය වැඩිදියුණු කිරීම සඳහා අපි වැඩි අවධානයක් යොමු කරනවා.
 
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් සහ මැති ඇමැතිවරු ද, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, කමිටුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, තාරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති හේෂා විතානගේ, යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් සහ තරුණ නියෝජිතයන් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න