අමෙරිකාවෙන් කෝටි 187ක ඔසු තිළිණයක් | දිනමිණ

අමෙරිකාවෙන් කෝටි 187ක ඔසු තිළිණයක්

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට සහාය දීමේ අරමුණින් රු. කෝටි 187ක් (අ.ඩො. මිලියන 5.7) වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානය පියවර ගෙන තිබේ.

වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ, පස්වන වරටත් Heart to Heart International ආයතනය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් 5,735,953 (රු. බිලියන 1.87) වටිනා හදිසි වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය සියලු රජයේ අනුමැතිය ගෙන තිබෙන බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තානාපති කාර්යාලය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද මෙම පස්වන පරිත්‍යාගය මේ වන විට ගුවනින් කොළඹට එවා තිබෙන අතර නවතම පරිත්‍යාගයට අධි රුධිර පීඩනය සඳහා වන labetalol වැනි විශේෂිත ඖෂධ, දැවිල්ල, දරුණු අසාත්මිකතා සහ ඇදුම වැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වන prednisone සහ ඇදුම රෝග ලක්ෂණ සහ හුස්ම හිරවීම සඳහා දෙනු ලබන fluticasone salmeterol යන ඖෂධ වර්ග ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන ලද මේ පරිත්‍යාග වෙනුවෙන් Heart to Heart International ආයතනය වෙත වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ප්‍රණාමය පිරිනමයි. Heart to Heart International ආයතනය විසින් සියළුම වියදම් දරා ඇති එම ඖෂධ තොගය ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු වියදමකින් තොරව කඩිනමින් බෙදා හැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දීමට නියමිතයි. කන්සාස් ප්‍රාන්තයේ ලෙනෙක්සා නගරයේ මූලස්ථානය පිහිටා ඇති Heart to Heart International (HHI) ආයතනය, සෞඛ්‍යය ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂය ආරම්භයේ සිට, HHI ආයතනය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 130 කට වැඩි ගණනකට ඩොලර් බිලියන 2.5ක් වටිනා වෛද්‍ය ආධාර සහ සැපයුම් පිරිනමා‍ ඇත. වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුළු ගැන්වීමෙන් HHI ආයතනය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දක්වනු ලබයි. මේ සංවිධානය තරු 4 පුණ්‍යායතනයක් මෙන්ම BBB ප්‍රතීතනය ලත් පුණ්‍යායතනයක්ද වන අතර, එය Philanthropy 400 යටතේ ද නම් කර ඇත.

මහින්ද අලුත්ගෙදර,

චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න