සිරුරේ දත්පහර සැසඳීමට සැකකරු අඟහරුවාදා වෛද්‍යවරයකු වෙත
කළුතර පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සැකකරු මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය ඊයේ (12) නියෝග කළාය.
කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය. කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, සැනසුම අංක 115 ලිපිනයේ පදිංචිව සිටි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පසුගිය 10 දා කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් 94,000ක මුදලක්, බැංකු කාඩ්පත් සහ නිවෙසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. එම දෑ අද උදෑසන වන විටත් භාර දී නැති බැවින් නිවෙසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සඳහන් කළ විත්තියේ නීතිඥවරයා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දැ භාර දෙන ලෙස පොලිසියට නියෝග කරන ලෙසය.
එහිදී පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතා සඳහන් කළේ සැකකරු ගරු අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනූහතර දහසක මුදල, බැංකු කාඩ්පත් සහ නිවෙසේ යතුර බිරිය ඉදිරියේ සැකකරු වෙත භාර දුන් බවයි.
මේ මරණය දිවි නසා ගැනීමක්ද? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද? යන්න මෙතෙක් නිගමනය වී නැති බවත්, මිය ගොස් ඇති දැරියට අවසන් වරට දුරකතන ඇමතුමක් දුන්නේ කවුරුද යන්න සොයාගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වී ඇති බවත් අධිකරණය හමුවේ කියාසිටි විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘදය රෝගයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසයි.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකීමක් බවත්, එය අධිකරණයේ වගකීමක් නොවන බවත්ය.
දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද යන්න පරීක්ෂා කිරීම සඳහා වෝහාරික වෛද්‍යවරයකු හමුවට පැමිණවීමට අවසර දෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහිදී 2023 මැයි 16 දා සැකකරු වෝහරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිලධාරීන් රැඳී සිටි අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදු කරන බවටද අධිකරණයේදී කරුණු අණාවරණය විය.
පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා, උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී.බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරුන් වන පොල්වත්ත සහ මැදගම යන නිලධාරීහු පෙනී සිටියහ. නඩුව ලබන මැයි 26 යළි කැඳවීමට නියමිතයි. කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් දැඩි රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදි.
නව අදහස දක්වන්න