ජනසවිය සමෘද්ධිය වගේම අස්වැසුමත් දේශපාලනික වෙලා | දිනමිණ

ජනසවිය සමෘද්ධිය වගේම අස්වැසුමත් දේශපාලනික වෙලා

මෙරට ක්‍රියාත්මක වූ සෑම සුබසාධන වැඩසටහනක්ම දේශපාලනීකරණය වී ඇති බවත්, ‘අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ පිරිනැමී මේ වැඩසටහනද එලෙස දේශපාලනීකරණය වී ඇති බවත් ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවසුවාය.

දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියත් ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව පැවැසූ එම මන්ත්‍රීවරිය එය නිවැරැදිව නොකළ හොත් සැබෑ හිමිකම් කිව යුතු පුද්ගලයන් ඉන් මඟහැරී යන බව ප්‍රකාශ කළාය. ‘අස්වැසුම‘ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.

නිර්ණායක 22ක් අනුව දත්ත එකතු කළ යුතුව තිබෙන බවද, දත්ත එකතු කිරීමේදී යම් ප්‍රශ්නයක් මතු වීද? දත්ත යාවත්කාලීන කිරීමේ ක්‍රමවේද දෙපාර්තමේන්තුව සතුව තිබෙනවාදැයි අමරසූරිය මෙණෙවිය කීවාය. ජන සවිය, සමෘද්ධිය ආදි සියල්ල දේශපාලනීකරණය වීම නිසා හරියට ක්‍රියාත්මක වන්නේ නැතැයි සුබසාධක වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක වීමට නම් එය දේශපාලනීකරණයෙන් ඉවත් විය යුතු යැයි ද අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.

සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් වන වැඩසටහන්වල දැනටත් දේශපාලනය පෙනෙන්න තිබෙන බව පැවසූ ඇය අස්වැසුම වැඩසටහනත් විකෘති නොවීමට ගෙන තිබෙන පියවර මොනවාදැයිද ප්‍රශ්න කළාය. මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේද කියා සිටියාය:

“සමාජ ආරක්ෂණයේදී මුදල් දීම පමණක් නොවෙයි කළ යුත්තේ; ඔවුන්ගේ ආර්ථිකය, සමාජීය, සෞඛ්‍යය, අධ්‍යාපනය යන අංශ ගැනත් අවධාණය යොමු කළ යුතුයි. ඒත් මේ මඟින් කර තිබෙන්නේ පුළුල් තැනකට ගෙන ඒම වෙනුවට පටු තැනකට ගෙන ඒම පමණයි. ජනසවිය, සමෘද්ධිය කියන මේ සියලු දේ දේශපාලනීකරණය වෙලා තිබෙනවා. එහි නිවැරැදි ප්‍රතිලාභ ගන්න නම් දේශපාලනීකරණය ඉවත් කළ යුතුයි. උදවු අවශ්‍ය පුද්ගලයන් නිවැරැදි තොරතුරු නොදෙන නිසයි මෙවැනි ව්‍යාපෘති අසාර්ථක වන්නේ. එහිදී එම පුද්ගලයන් පමණක් නොවෙයි; ඊට දේශපාලනීකරණය වුණ නිසයි මෙහෙම වෙන්නේ. සමාජයෙන් ප්‍රතික්ෂේප වුණ මන්ත්‍රීවරයාට ගමට යන්න දැන් විවිධ වැඩසටහන් කරනවා. හැමදාම කළේ එවැනි වැඩයි. මේ වෙලාවේ දුගී බවෙන් පෙළෙන ජනතාව තව තවත් වැඩි වෙමින් තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ පිරිනැමීමේ වැඩසටහනින් පවා කර තිබෙන්නේ දේශපාලනීකරණයයි.“

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න