බ්‍රිතාන්‍ය ජාතිකයකුට අයත්, අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් බ්‍රිතාන්‍යය බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු පෙරේදා (11) දහවල් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කම්කරු වෘත්තියේ නියුතු මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තරුණයකු වන මොහු ඉකුත් මැයි 9 දින ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගෙන ඉන්දියාවට ගොස් ඇත්තේ, එහි වෙසෙන සිය මාමා ලවා බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කර ගැනීමටය. ඒ අනුව ඉන්දියාවේ තැරැවුකරුවකු බ්‍රිතාන්‍ය ජාතිකයකුට අයත්, එහෙත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුව සූක්ෂ්ම ලෙස ඉවත් කර, ඒ වෙනුවට මේ ශ්‍රී ලාංකික තරුණයාගේ තොරතුරු ඇතුළත් කර මෙම ගුවන් ගමන් බලපත්‍රය සකස් කර දී තිබිණි.
පසුව ඔහු පෙරේදා (11) දහවල් 12.00ට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 122 දරන ගුවන් යානයෙන් එසේ කූට ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය උපයෝගි කර ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එහිදී මේ ගුවන් ගමන් බලපත්‍රයට අදාළ වීසා නිකුත් කිරීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් එම තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කරද්ද, මෙය ජාත්‍යන්තර පොලිසියේ සඳහන්, බ්‍රිතාන්‍ය ජාතිකයකුට අයත් අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍රය බවට තොරතුරු අනාවරණය වී තිබිණි.
පසුව ඔහුගේ ගමන් මල්ල ආගමන විගමන නිලධාරීන් විසින් සෝදිසි කර බලද්දී, ඒ තුළ තිබී මේ තරුණයාගේ සැබෑ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයද සොයා ගැනීමට නිලධාරීන් සමත් වී තිබිණි.
එම සිදු වීමෙන් පසුව මෙම තරුණයා සහ ඔහු විසින් කූට ලෙස සකස් කර ගෙන තිබූ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.
කටුනායක
ටී.කේ.ජී. කපිල
නව අදහස දක්වන්න