නිත්‍ය සභාපතිවරයකු නැතිව මුදල් කාරක සභාව මෙතෙක් දුන් අනුමැති සියල්ල නීතියට පටහැනි සහ ව්‍යවස්ථා විරෝධි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) පැවසීය.
එම නිසා මුදල් කාරක සභාවේ නිත්‍ය සභාපතිවරයකු පත් කර, ඉන් පසුව එළැඹෙන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය. මුදල් කාරක සභාවේ සභාපතිවරයකු නොවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. මුදල් කාරක සභාව රබර් මුද්‍රාව පමණක් තිබෙන නිවට ආයතනයක් බවට පත් වීමට නොහැකි බව හෙතෙම කියා සිටියේය.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය:
“මුදල් කාරක සභාවේ සභාපතිවරයකු නැති අවස්ථාවක අනීතික ලෙස, ව්‍යවස්ථා විරෝධිව වැඩ බලන සභාපතිවරුන් රාජ්‍ය පාර්ශ්වයෙන් පත් කර තිබෙනවා. විපක්ෂයේ සභාපතිවරයකුයි පත් විය යුත්තේ කියලා තිබියදිත් මුදල් කාරක සභාවේ වාර්තාව එහි සමාජික වජිර අබේවර්ධන මහතා විසින් පිළිගන්වනවා කියලා මෙහි සඳහන් වෙනවා. එහෙම තියෙද්දි කොහොමද න්‍යාය පත්‍රයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යනුකූල ලෙස ඉදිරිපත් කරන්නේ.“
කථානායකවරයා: “ඒක පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කාරක සභාවක් හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණ යෝජනාවක්. ඒ නිසා ඉදිරිපත් කළා.“
විපක්ෂ නායකවරයා: “කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නීත්‍යනුකූලව, ව්‍යවස්ථානුකූලව එහි ස්ථාවර නියෝගවලට අනුකූලව සභාපතිවරයකු පත් කළ විටයි. ඒ නිත්‍ය සභාපතිවරයා නැති අවස්ථාවක අවශ්‍ය නම් ප්‍රෝටන් සභාපතිවරයකු පත් කරලා ඒ අනුව වැඩ කරන්න පුළුවන්. ඒත් නිත්‍ය සභාපතිවරයකු නැතිව මෙතෙක් මුදල් කාරක සභාවෙන් දුන් අනුමැති අනීතිකයි; ව්‍යවස්ථා විරෝධියි; ස්ථාවර නියෝගවලට විරුද්ධයි. එවන් තත්ත්වයක් මත බංකොලොත් රටක අනීතික වැඩ කරන්නෙ පාර්ලිමේන්තුව තුළ අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා මුදල් කාරක සභාවේ නිත්‍ය සභාපතිවරයකු පත් කරලා ඉන් පසුව එළැඹෙන වාර්තා ටික පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න.“
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න