හෙද විදුහල සරසවියක් කිරීමෙන් මෙරට හෙද සේවයේ පෙරළියක් ඇතිවේවි ජාත්‍යන්තර හෙද දිනයට පැවති උත්සවයේදී අගමැති කියයි | දිනමිණ

හෙද විදුහල සරසවියක් කිරීමෙන් මෙරට හෙද සේවයේ පෙරළියක් ඇතිවේවි ජාත්‍යන්තර හෙද දිනයට පැවති උත්සවයේදී අගමැති කියයි

ඉදිරියේදීවත් පාර්ලිමේන්තුවට සුදුසු අය යවන්න --මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හෙද විද්‍යාලය සරසවියක් කිරීමට රජය ගත් තීරණයෙන් මෙරට හෙද සේවයේ අනාගත පෙරළියකට අවස්ථාව බිහි වී ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අරලියගහ මන්දිරයේ ඊයේ (12) සංවිධාන කර තිබූ සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අද ජාත්‍යන්තර හෙද දිනයයි. ජාත්‍යන්තර හෙද දිනයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අඛණ්ඩව රැස්වෙනවා. හෙද ක්ෂේත්‍රය අපේ රටේ නීරෝගිභාවය ඇතිකිරීම සඳහා වූ වගකීම් දරන ප්‍රධානම ක්ෂේත්‍රයක් හැටියට අනාගතයට කැපවුණා.

විවිධ ක්ෂේත්‍රයන්ට විවිධ බාධකයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. සෑම සංවිධානයකටම සැලැස්මක් අරමුණක් සහ ඉලක්කයක් වගේම තම සාමාජිකයන් මෙන්ම සාමාජිකයන් ජීවත්වන සමාජය සඳහා ද ඉටු කළ යුතු කාර්යභාරයක් ද තිබිය යුතුයි. එම වැඩපිළිවෙළට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කැප වී කටයුතු කළ බව මේ අවස්ථාවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. එය සෙසු වෘත්තිය සමිතිවලටත් අනෙක් වෘත්තීය ක්ෂේත්‍රවලටත් වැදගත් ආදර්ශ රාශියක් එකතු කර තිබෙනවා. අධික විඩාවට පත් වුණු, විවිධ වැටුප් ප්‍රශ්න නිසා අස්ථාවර වූ හෙද සේවය පුහුණුවීම් ආදියෙන් පෝෂණය වූ හෙද සේවයක් බවට පත්කරන්න හෙද සංගමය කැපවුණා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විශේෂඥ හෙද සේවයක් සමාජයට ඇති කර දී තිබෙනවා. දහස් ගණන් දරුවෝ හෙද සේවයට බැඳිලා ආඩම්බරයෙන් ඩිප්ලෝමාවක් අරගෙන ගමන් කරපු කාලපරිච්ඡේදය වෙනස් කළා. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයක් බවට මේ හෙද විද්‍යාල පරිවර්තනය කළා. හෙද විද්‍යාලයක් වෙනුවට හෙද විශ්වවිද්‍යාලයක් දිනා දී හෙද සේවය වඩාත් දියුණු අවධියකට ගෙනයා යුතුයි කියන අධිෂ්ඨානය තිබුණේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට පමණයි.

හෙද ක්ෂේත්‍රයේ සංගමයේ හිටපු සාමාජික සාමාජිකාවන්ට මා අගමැතිවරයා හැටියට සුවිශේෂ ගෞරවයක් පිරි නමනවා. ඔබ නිසයි මේ විශ්වවිද්‍යාලය ඇති වී තිබෙන්නේ මේ තීරණය ගනු ලැබුවේ. එයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ පණිවිඩය.

හෙද ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් ජයග්‍රහණය කරන මේ විශ්වවිද්‍යාලය පසුගියදා ප්‍රකාශයට පත් කරන්නට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඒ තීරණය අනුව ඇමැති මණ්ඩල ප්‍රකාශනය පිළිබඳව තීරණය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ දියුණු විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කර ගත යුතුයි. එය රටට, සමාජ ගමනට, ආර්ථික ප්‍රගමනයට උදවු වනු ඇති.

මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ වුවත් ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට අපේ ඇමැති මණ්ඩලය සමඟ එකඟ වීමෙන් විශාල ඉදිරි පියවරක් තබනු ලැබුවා. මේ කාලපරිච්ඡේදය ඉතාම දුෂ්කරම කාලපරිච්ඡේදයක්. අපේ රටේ කවදාවත් ආර්ථිකය මෙහෙම වැටුණේ නැහැ. ඉතිහාසයේ කිසිම දවසක මෙසේ නොවුණු තත්ත්වයකින් අප යළි ගොඩ ආවා. මේ කඩාවැටුණු ආර්ථිකය ගොඩගැනීම සඳහා වූ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ඒ ගමන යද්දී මෙවැනි විශ්වවිද්‍යාලයක් බිහි කිරීම සඳහා වූ තීරණය ගෙනා ඒ ගෞරවය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දුන්නා. ජාත්‍යන්තරව ඒ පිළිගැනීම ඇති. මහා අනාගත ගමනකට ගමන් කරන්නට අවස්ථාවක් දැන් බිහි වී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි-

හෙද හෙදියන් ලෙස ඔබේ මූලික කාර්යභාරය තමයි අසරණ වූ රෝගීන්ගේ සාත්තුව හරියට කිරීමයි. අඩුපාඩුකම් පිළිබඳ අපි දන්නවා. ඔබ ළඟ සැමවිටම දයාව, කරුණාව, මෛත්‍රිය තියෙන්න ඕනෑ. බඳවා ගැනීමේදී මේ සියලු දේ බලන්න ඕනෑ. බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ගැන නැවතත් අවධානය යොමු කළ යුතු කාලය එළඹ තිබෙනවා. හෙද සේවාවට, පොලිසියට, හමුදාවට බඳවා ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. කිසිම දේශපාලනඥයකුගෙන් බලධාරියකුගෙන් ලියුම් ගන්න එපා. සුදුසුකම් සපුරාගෙන එන අය තමයි හරියට බඳවා ගන්න අවශ්‍ය වෙන්නේ. ඉදිරියේදී පාර්ලිමේන්තුවට වුණත් සුදුසු අය යවන්න. කවදාවත් මේ වගේ අවුල් ඇති වෙන්නේ නැහැ.

අවුරුදු ගාණක් තිස්සේ අපි හෙද උපාධියක් ඉල්ලනවා. ලැබුණේ නැහැ. බාධක ආවා. අද අපට හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න හැකියාව ලැබී තිබෙනවා. බලාපොරොත්තු වෙන්නේ විනයගරුක ශික්ෂාකාමි හෙද සේවයක්. හෙද සේවයේ ගරුත්වය රැක ගන්න. නිල ඇඳුමෙන් සාප්පු ගානෙ යන්න එපා. ඉල්ලීම් ලබා ගන්න සටන් කරනවා වගේම ඔබේ ගෞරවයත් රැකගන්න.

මෙහිදී ෆ්ලෝරන්ස් නයිටිංගේල් මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළ අතර, හෙද සේවය වෙනුවෙන් කළ මෙහෙවර ඇගැයීම වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සහ හෙද විශ්වවිද්‍යාල ඇති කිරීමට දැක්වූ දායකත්වය ඇගැයීම වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

ඇමැති බන්දුල ගුණවර්ධන, තායිලන්ත, මැලේසියා සහ ඉන්දුනීසියා තානාපතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, යදාමිණි ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහත්වරුන් සහ හෙද හෙදියෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න