සංස්ථාවලට යෙදූ මුදල් අධ්‍යාපනයට දැම්මා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ | දිනමිණ

සංස්ථාවලට යෙදූ මුදල් අධ්‍යාපනයට දැම්මා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ

Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය විවෘත කරමින් ජනපති කියයි

අධ්‍යාපන ක්‍රමය නවීකරණය වී නෑ:

හොඳ කළමනාකරණයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයයි

 

ගිය වසර 10ක කාලයේදී මෙරට ඇතැම් ආයතන වෙනුවෙන් දුන් මුදල මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන්නේ නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ කාලයේදී අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් නොකර සංස්ථා සඳහා මුදල් යෙදවූ බව සිහිපත් කරන ඒ මහතා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදියට දුන් මුදල් මෙලෙස අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළේ නම් ලබාගන්නා දියුණුව මත ලෙහෙසියෙන්ම මැලේසියාව සමඟ ද තරග කිරීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ (12) ආරම්භ වූ ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ පළමු නිපුණතා හා රැකියා ප්‍රදර්ශනය මෙය වන අතර, Òජීවිතයට හැකියාවක් - හැකියාවට රැකියාවක්Ó යන්න තේමාව කර ගනිමින් වඩා හොඳ ශ්‍රමික පිරිසක් රටට දායාද කිරීම අපේක්ෂා කරයි.

ප්‍රධාන ආංශික නිපුණතා සභා 5කට අදාළ නව ප්‍රවණතා හා තාක්ෂණය පිළිබඳ දැනුම හා ඒ හා සබැඳි අවස්ථා මේ ප්‍රදර්ශනයෙන් ලබා දෙන අතර, මෙය එම ක්ෂේත්‍රවල රැකියාවලට පිවිසීමට අපේක්ෂා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි. 2016 වසරේ දී පිහිටුවන ලද සහ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව හා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරි‍ෙය් සහයෝගය යටතේ පවතින ආංශික නිපුණතා සභා මඟින් මේ ප්‍රදර්ශනය සංවිධාන කරයි.

ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙන අතර, පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වෙයි. නොමිලේ මේ ප්‍රදර්ශනයට එක්විය හැකි අතර, මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වෙයි. නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මේ ප්‍රදර්ශනය සංවිධාන කිරීම පිළිබඳ ප්‍රශංසාව පළමුවෙන්ම පුද කරන්න කැමතියි. මේ කාලයේදී අධ්‍යාපන පුහුණු කිරීමේ අංශ අනෙකුත් අංශ වගේ පුහුණු කරන්න ඉතා අමාරු කාලයක් මේක. පසුගිය වසරේ මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වන්න අපට හැකියාවක් තිබුණේ නැහැ. රටේ කලබලවලට අමතරව ආර්ථිකය කඩා වැටී තිබුණා. ඒ කඩාවැටීමෙන් ගොඩ එන්න පියවර ගත යුතු වෙනවා. එසේ ගොඩ එන ගමන් අලුත් අය වැයක් ඉදිරිපත් කරන්න වුණා. අපේ වියදම් පාලනය කරන්න වුණා. මේ වැඩ කරද්දී වියදම් දෙස බලන විට පසුගිය වසර දහයක කාලයේදී එක් කරුණක් පේනවා. අපි අධ්‍යාපනයට මුදල් දාන්නේ නැතිව සංස්ථාවලට මුදල් දැම්මා. ශ්‍රීලන්කන් ගුවන් සේවයට දැමු මුදල් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, විදුලිබල මණ්ඩලයට දැම්මා. අපි ඛනිජ තෙල් සංස්ථාවට දැම්ම මුදල් අධ්‍යාපනයට දැම්මා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙනවා අපේ රටේ.

එසේ නම් අපට ලෙහෙසියෙන්ම මැලේසියාව සමඟත් තරග කරන්න පුළුවන්. අපි ඒ එකක්වත් කළේ නැහැ. දැන් අපට වෙලා තිබෙන්නේ ඒ ණය ගෙවන්න. මම උත්සාහ කරන්නේ ඉදිරි අවුරුදු දහයක කාලයේදී ඒ ණය ඉක්මණින් ගෙවා දමන්නයි. එපමණක් නොවෙයි මෙවැනි වැඩවලට අනාගතයේදී මුදල් නොදෙන්නයි. ඒ වගේම සහනාධාර නොදෙන්නයි. තවත් වැඩසටහන් රැසක් තිබුණා. නමුත් අපි තවම දන්නේ නැහැ ඒ මුදල්වලින් කුමක් ද වුණේ කියලා. පශු සම්පත් අධිකාරියට ආනයනය කළ සත්ත්වයන් සියල්ල සිටියා නම් අද තවත් විශාල සංවිධානයක් තිබෙනවා. නමුත් ඒ එක සතෙක් හෝ සොයාගන්න නැහැ. දැන් මුලින්ම බලන්නේ මේවා සීමා කරන්නයි. වියදම් අඩු කළ යුතු වෙනවා. වියදම් අඩු කරනවා කියා ආණ්ඩුවේ වියදම් අඩු කරන්නේ නැහැ. අපි බලන්නේ රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් වර්ධනය කරන්නයි. සහනාධාර දෙන එක අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සේවා, සමාජ ආරක්ෂණය හා නිවාසවලට සීමා කරනවා. ඒවායේ ජනතාව ජීවත් වෙනවා. එසේ නම් මීට වඩා මුදල් අපට දෙන්න පුළුවන්. ඒ වගේම ඊටත් වඩා හොඳ කාර්යක්ෂම හා හොඳ කළමනාකරණයක් සහිත අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයයි. මේ අධ්‍යාපන ක්‍රමයේ වැදගත්ම තැන තමයි දැනුම ලබාදීම. අපි ජීවත් වෙන්නේ දැනුම පදනම් කරගත් සමාජයකයි. එසේ නම් අපට හැකිනම් සියලු දෙනාටම දැනුම දෙන්න. එසේ නම් අපේ අනාගත දියුණුව තහවුරු වෙලා තිබෙනවා. චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල හැම කෙනාටම දැනුම දෙන්න බැහැ. අපට තිබෙන්නේ අපේ තරුණ පරපුරට දැනුම ලබාදෙන්නයි. ඒ අයට දැනුම දිය යුතු වෙනවා. පාසල් දැනුමින් පසුව මෙතැන තමයි ඊළඟට රැකියා දැනුම දෙන්න තිබෙන්නේ. අද එවැනි සංවිධාන විශාල ප්‍රමාණයක් එවැනි වැඩවල නිරතව සිටිනවා.

අපේ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ලන්ඩන් නුවර සිට පැමිණ මේ සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ අධ්‍යාපන ක්‍රමවේදය නවීකරණය කරන්නයි. අපි අනෙකුත් තැන්වලට මුදල් යෙදෙව්වට අපේ අධ්‍යාපන ක්‍රමයේ නවීකරණයක් සිදු වී නැහැ. මේක අවුරුදු 10 ක් 15 ක් පිටුපසින් ඉන්නේ. එසේ නම් අපට පිම්මක් පනින්න තිබෙන්නේ. ඉදිරියට යන්න තිබෙන්නේ. එවිට අලුතින් සිතන්න ඕනෑ. මේ හැම එකක්ම ආණ්ඩුවෙන් දෙන්න බැහැ. ඉදිකිරීමේ කර්මාන්තයට පැමිණෙන අය පුහුණු කරන්නේ කොහොමද? එවැනි අංශ රැසක් තිබෙනවා. ඒ පුහුණුව, දැනුම තිබෙන්නේ රජයෙන් පිටයි. එසේ නම් ඒ ආයතන සමඟ වැඩ කරන්න වෙනවා. මේ දැනුම තිබෙන්නේ විදේශ ආයතනවලට නම් ඒ අයත් එක්කරගෙන වැඩ කරන්න වෙනවා. ඒ අනුව තමයි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එක් ඇමැතිවරයකුට භාර දුන්නා. මේ සම්පූර්ණ ක්‍රමවේදය දෙස බලා සැලසුම් ඇති කරන්න තිබෙනවා.

අධ්‍යාපනය සඳහා වෙනම අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර තිබෙනවා. ඒක රැස්විය යුතු වෙනවා. අධ්‍යාපනයේ නවීකරණය අපි මෙතැන් සිට ආරම්භ කරනවා. අපි නව ලෝකයකට යායුතු වෙනවා. තව අවුරුදු 10කින් තිබෙන තාක්ෂණය දියුණුව අපට කියන්න බැහැ. කිසිවකුට ඒ සම්බන්ධයෙන් කාරණා දැනට ප්‍රකාශ කරන්න බැහැ. අනාගතය නොදැන අනාගත අධ්‍යාපන වැඩසටහන් ක්‍රමයක් ඇති කරන්න අපට තිබෙනවා. එය ලංකාවට පමණක් නොව අනෙකුත් රටවලටත් කරන්න තිබෙනවා. ඒ නිසා අපිට තිබෙන්නේ තරුණ පරපුරට රට ඉදිරියට ගෙනයන්න තමන් ඉදිරියට යන දැනුම ලබාදෙන්නයි. ඒ මාර්ගයෙන් රටත් තමන්ගේ පෞද්ගලික ජීවිතයත් දියුණු වෙනවා. ඒ දෙකම අපට කරන්න තිබෙනවා. එහි විශාලම කාර්යය තිබෙන්නේ වෘත්තීය පුහුණු අංශයටයි. ඒ නිසා විශේෂයෙන්ම මේ වෘත්තීය පුහුණු අංශය දියුණු කරන්න අපේ අවධානය යොමුව තිබෙනවා. අපි සියලු දෙනාම එක්ව කැපවිය යුතු වෙනවා. ඒ අනුව 2024 වසරින් පසුව මෙවැනි අංශවලට තවත් වැඩිපුර මුදල් යොදවන්න හැකියාව ලැබෙනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා-

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පළමුවරට මේ ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා. විවිධ ආධාර කරන සංවිධාන සමඟ එක්ව එය සංවිධාන කරන්න හැකියාව ලැබී තිබෙනවා. පසුගිය වසරේදී රටේ පැවැති තත්ත්වය හේතුවෙන් මෙවැන්නක් කරන්න හැකියාව ලැබුණේ නැහැ. වසරකට පෙර ගාලුමුවදොර පැවැති අරගල බිම වසරකට පසුව දන්සල් පවත්වන වෙසක් සැමරුම් සිදු කරන ස්ථානයක් බවට පත් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණා. වසරකට පසුව රටේ විශාල වෙනසක් ඇතිවී තිබෙනවා. මේ නිපුණතා ප්‍රදර්ශනය රටේ තරුණ තරුණියන්ට ඉතාම වැදගත් එකක් වෙනවා. නිපුණතා සහිත තරුණ පරපුරක් ලෙස රැකියා ක්ෂේත්‍රයට අවතීර්ණවීමේදී මෙයින් මහඟු අත්වැලක් ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා-

මේ අවස්ථාවට මුලින්ම සුබ පැතුම් එක් කරනවා. නිපුණතාව සහ තාක්ෂණයෙන් ඉදිරියට යන ගමනට මේ ප්‍රදර්ශනය අත්වැලක් වෙනවා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙනවා. මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක එකක්. පෞද්ගලික අංශයේ ආයතන රැසක් ද එක්ව මෙය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනවා. මේ වෙනුවෙන් ජපන් රජය, ආසියානු සංවර්ධන බැංකුව විශාල සහයෝගයක් දෙනවා. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පුහුණුවෙන් විදේශ රැකියා සඳහා යොමුවීමේදී ඉහළ ආදායමක් ගන්න පුළුවන්. නිපුණතාවයෙන් ඉදිරියට ගමන් කරන්න මෙරට තරුණ පරපුරට ජපන් රජයේ සහාය දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මේ මොහොතේ වැදගත්. මෙරට සමාජ සංවර්ධනය වෙනුවෙන් ද ජපන් රජය අඛණ්ඩව සහාය දෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා-

තරුණ හා කාන්තා රැකියා අභිවෘද්ධිය අපේක්ෂා කරමින් ජපන් රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව 2016 වසරේදී මේ වැඩසටහන ආරම්භ කළා. අද එහි පළමු අදියරේ අවසානය වෙනවා. ක්ෂේත්‍ර 5කට අයත් සභා ස්ථාපිත කරන්න හැකියාව ලැබී තිබෙනවා. ඉදිකිරීම්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය, සංචාරක හා නිෂ්පාදන ආදි ක්ෂේත්‍ර ඊට අයත් වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන එක්ව මේ ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා. ඉදිරියේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිරීති යාවත්කාලීන කළ යුතු වෙනවා. පෞද්ගලික, රාජ්‍ය හා විදේශ ජාලා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. වසරකට ලක්ෂ තුනක් පමණ පාසල් පද්ධතියට ඇතුළත් වෙනවා. නමුත් උසස් පෙළ විභාගයෙන් පසුව 40000ක් පමණ සරසවි සඳහා සුදුසුකම් ලබනවා. ඊට අමතරව විශාල පිරිසක් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් යොමු වෙනවා. තවත් පිරිසක් විදේශ අධ්‍යාපනය වෙත යොමු වෙනවා යැයි සඳහන් කළේය.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා ආංශික සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා ආංශික සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු සේවා කර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා ආංශික සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත කුසලතා නිපුණතා ආංශික සභාව (ASSC) යන නිපුණතා ආංශික සභාවන්ට අදාළ කර්මාන්ත හා ක්ෂේත්‍රවල නව සහ නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” ප්‍රදර්ශනය තුළ මූලික වශයෙන් දැනුම හා අවස්ථා හුවමාරු වේ.

මේ කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කර ගැනීමටත්, එම රැකියා සඳහා අයැදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමු කරවීමටත් මේ ප්‍රදර්ශනය කදිම අවස්ථාවක් වන අතර, පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවන් පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි තවත් අරමුණකි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර 5 ට අදාළ වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍රවල පවතින වෘත්තීය අවස්ථා පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මඟපෙන්වීමේ වැඩසටහන් පෙළක් ද මේ ප්‍රදර්ශනයට සමගාමීව සංවිධාන කෙරේ. සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා සේවා යෝජකයන් හමුවීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුම්වත් වීමට මෙය අගනා අවස්ථාවක් වෙයි. මේ ඔස්සේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිතා කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළෙඳ පොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කර ගැනීමටත් අපේක්ෂිතයි. Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය මෙරට ක්ෂේත්‍ර රැසක සාමාජිකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට තම අදහස් හුවමාරු කර ගැනීමට සහ එම ක්ෂේත්‍රවල නිපුණතා ප්‍රවර්ධනය කිරීමට අගනා අවස්ථාවක් වන අතර, ඒ ඔස්සේ එය රටේ ආර්ථික සංවර්ධනයට ද කැපී පෙනෙන දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කම්කරු හා රැකී රක්ෂා ඇමැති මනූෂ නානායක්කාර, අගමැති ලේකම් අනුර දිසානායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - රුක්මල් ගමගේ

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න