පොලිස් නිලධාරියා යට කළ බස් රියැදුරු අත්අඩංගුවට | දිනමිණ

පොලිස් නිලධාරියා යට කළ බස් රියැදුරු අත්අඩංගුවට

 

මහනුවර ගැටඹේ දුම්රිය ගේට්ටුව අසලදී ඊයේ (12) පෙරවරු 9.30ට පමණ පොලිස් නිලධාරියෙකු යට කර පලාගිය බව කියන පෞද්ගලික බස් රථ රියැදුරෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් බරපතළ තුවාල ලද මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. දුම්රියක් ගමන් කිරීම නිසා රේල් ගේට්ටුව වසා තිබූ අවස්ථාවේ මෙම සැරයන්වරයා ඔහුගේ යතුරුපැදිය නවතා ගෙන සිට ඇත. දුම්රිය එම ස්ථානයෙන් ගමන් ගන්නවාත් සමඟම රේල් ගේට්ටුව විවෘත කිරීමටත් පෙර පොලිස් සැරයන්වරයාගේ යතුරුපැදියට පසුපසින් නවතා තිබූ පෞද්ගලික බස් රථය දුම්රිය ගේට්ටුව නැවත විවෘතවීමට පෙර ඉදිරියට ධාවනය කර තිබේ.

එම අවස්ථාවේ සැරයන්වරයාගේ යතුරුපැදිය බස් රථයට යට වී ඇත. බස් රථය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම නිසා පොලිස් සැරයන්වරයා ද යතුරුපැදිය සමඟ ඉදිරියට ඇදී ගොස් තිබේ.

එම අවස්ථාවේ පොලිස් සැරයන්වරයාගේ පාදයක් බස් රථයේ ඉදිරි හා පසුපස රෝදවලට යටවී ඇත. මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න