හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම අද (13) දින සිට සැප්තැම්බර් මස 23 වන දින දක්වා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (12) නියෝග කළේය.
කැනඩාවේ වෙසෙන දියණිය බැලීමට යෑමට අවසර ලබා දෙන්නැයි චම්පික රණවක මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයකු අනතුරට ලක් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ ඇප කොන්දේසි ප්‍රකාරව රණවක මහතාගේ විදේශ ගමන් තහනම් කර ඇත.
ඉකුත් 2016 වසරේ පෙබරවාරි මස 28 වන දින WPKT7545 දරන ජීප් රථයේ රියැදුරුව සිටිමින් ධාවනය කරමින් අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියා මඟින් තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම හා රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති විත්තිකරු නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරැදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
රෝෂන් තුෂාර
නව අදහස දක්වන්න