පදික මාරුව අසල නැවතූ බස් රථයේ රියැදුරු දැඩි අපහසුවෙන් පෙළෙන අයුරු දුටු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රොෂාන් රාජිත මහතා සහ තවත් පුද්ගලයකු එක්ව වහා ක්‍රියාත්මකව රියැදුරු රෝහල්ගත කිරීමෙන් ඔහුගේ දිවි බේරුණු බව බණ්ඩාරගම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊයේ (12) පෙරවරු හයයි විස්සට පමණ සිය දරු දෙදෙනා පාසල් බස් රථයට ඇරලීම සඳහා මන්ත්‍රීවරයා බණ්ඩාරගම වීදාගම හන්දියේ රැඳී සිටියදී හොරණ දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පදික මාරුව අසල ඉදිරියට ධාවනය නොවී පණ ගන්වා තිබූ අයුරින් එලෙසම නවතා තිබියදී පිටුපසින් පැමිණ තිබූ වාහන කිහිපයක් නලා හඬ නොනවත්වා නාද කරන අයුරු මන්ත්‍රීවරයාගේ අවධානයට යොමු වී ඇත.
මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ සිටි මන්ත්‍රීවරයා රියැදුරු අසුන දෙස බැලීමේදී බස් රථයේ රියැදුරු දකුණු අත උඩට උස්සාගෙන ගෙන වම් අතින් පපු පෙදෙස අල්ලාගෙන ඉතා අපහසුවෙන් රියැදුරු අසුනේ සුක්කානමට හිස බරවී සිටින අයුරු නෙත ගැටී ඇත.
ඒ සමඟම වහා ක්‍රියාත්මක වූ ඔහු බස් රථයට ගොඩ වී රියැදුරු අසුන අසලට ගිය අවස්ථාවේදී රියැදුරු දැඩි ලෙස රෝගීව අසාධ්‍ය තත්ත්වයෙන් පෙළෙන බවට දැක බස් රථය තුළ බැලීමේදී ඒ තුල කොන්දොස්තරවරයා හෝ මගීන් ද කිසිවකු නොසිටීමෙන් මහත් අසරණ වූ මන්ත්‍රීවරයා රියැදුරු අසුන අසලින් අත දමා පිටුපසට අත වනද්දී බස් රථයේ පිටුපස සිට නලාව නාද කරමින් සිටි ත්‍රිරෝද රථ රියැදුරා බස් රථය තුළට පැමිණීමත් සමඟම දෙදෙනාම එක්ව අපහසුවෙන් පෙළෙන රියැදුරුව අසුනින් පිටතට ගෙන බස් රථය තුළ තැබීමට පියවර ගෙන තිබිණි.
යම් අසනීප තත්ත්වයකින් අසාධ්‍යව පෙළෙන රියැදුරුගේ ජීවිතයේ බේරා ගැනීමට විනාඩියත් වටින බව තේරුම් ගත් මන්ත්‍රීවරයාÓ මල්ලි උඹට පුළුවන්ද බස් එක එලවන්න යැයි Ò විමසීමත් සමඟම පුළුවන් යැයි පැවසූ එම ත්‍රිරෝද රථ රියැදුරු බස් රථය බණ්ඩාරගම රෝහල ඉදිරිපිට තෙක් අධික වේගයෙන් ධාවනය කළේය.
ඒ අතරතුර රියැදුරුගේ පපු පෙදෙස මසාජ් කිරීමට කටයුතු කළ මන්ත්‍රීවරයා බස් රථය රෝහල ඉදිරිපිට නැවතීමත් සමඟ දෙදෙනාම එක්ව බස් රථ රියැදුරු උස්සගෙන බණ්ඩාරගම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකය වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබීය.
වත්තම් කරගෙන රෝගියකු රැගෙන එන දුටු රෝහල් කාර්ය මණ්ඩලය ඒ බව වෛද්‍යවරුන්ට පවසා වහා ක්‍රියාත්මක වී රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.
තවත් විනාඩි කිහිපයක් හෝ ප්‍රමාද වූවා නම් රෝගියාගේ ජීවිතය යම් අනතුරකට පත් වන්නට බොහෝ දුරට ඉඩ තිබූ බව වෛද්‍යවරුන් විසින් පවසා තිබිණි.
එම බස් රථ රියැදුරු බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකි.
මන්ත්‍රීවරයා සහ අනෙක් පුද්ගලයා එක්ව බස්රථ රියැදුරුගේ ජීවිත බේරා ගැනීමට ක්ෂණිකව මැදිහත්ව සිදුකළ ක්‍රියාව අගය කරමින් රෝහල වෙත පැමිණ සිටි බොහෝ දෙනකුගේ පමණක් නොව වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ද ප්‍රශංසාව හිමි වූ බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
මෙම සිද්ධියේදී මන්ත්‍රීවරයාට නොමද සහායක් දක්වා රියැදුරුගේ ජීවිතය බේරා ගැනීමට සහාය දක්වා ඇත්තේ බණ්ඩාරගම ආදාහනාගාරය අසල පදිංචි කෝකිල මදුර ප්‍රසන්න මහතාය.
බණ්ඩාරගම - බිමල් ජයසිංහ
නව අදහස දක්වන්න