ආර්ථික අර්බුදය නිසා කෘෂිකර්මාන්තයට විවිධ බලපෑම් එල්ල වුවත් පසුගිය මහ කන්නයේ දී මෙරට ගොවීන් ඉහළම වී අස්වැන්නක් රටට දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත Azusa Kubota මෙනෙවිය හමුවේ පැවසීය.
ඉහළම අස්වැන්නක් ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිපදවා ඇති බවත් විශේෂයෙන් වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත් කෘෂිකර්ම ඇමැතිවරයා නියෝජිතවරිය හමුවේ ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මෙනෙවිය පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පැවැති සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ කරුණු අනාවරණය කරන ලදි.
2022දී ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇති වෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රටේ නිපදවා ගැනීමට හැකි වූ බව පෙන්වා දුන් ඇමැතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ වී වගාව ආදායම් උපයන වගාවක් බවට පත් කිරීමටත්, රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රටේම නිපදවා ගැනීමත් අරමුණු කර ගනිමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන විසින් මේ වන විට ඉහළම වී අස්වැන්නක් ලැබිය හැකි At 362 වී ප්‍රභේදය ඇතුළු උසස් වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබෙන බවයි.
ශ්‍රී ලංකාවේ දී පළමු වරට හෙක්ටයාර් එකකින් ලද ඉහළම වී අස්වැන්න පසුගිය මහ කන්නයේ දී අම්බලන්තොට ගොවීන් සිවුදෙනෙක් විසින් වාර්තා කළ බවත් ඉන් තිදෙනෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 11ක් වශයෙන් හා එක් ගොවියෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 09ක් වශයෙන් වාර්තා කර තිබෙන අතර, තවත් ගොවීන් විශාල පිරිසක් මෙට්‍රික් ටොන් 08 සිට 09 දක්වා ප්‍රමාණයක් වාර්තා කර තිබෙන බවත් අමරවීර මහතා Azusa Kubota මෙනෙවිය හමුවේ පැවැසීය. ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට නම් ඔවුන්ට වගාව සඳහා උසස් බීජ විශේෂ ලබා දිය යුතු බැවින් සෑම වගාවකින්ම ඉහළ අස්වැන්නක් ලැබිය හැකි බීජ වර්ග හඳුන්වා දීම සඳහා සිදු කරන පර්යේෂණ පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය මඟින් දෙන බවත් ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ජපාන රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහයෝගය දෙන ලෙස ඇමැතිවරයා නියෝජිතවරියට යෝජනා කළේය.
මෙහිදී Azusa Kubota මෙනෙවිය සඳහන් කළේ විශේෂයෙන් පසුගිය කාලයේ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවර අගය කරන බවයි. මේ සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන
නව අදහස දක්වන්න