කම්හලේ කළමනාකාරිත්වය සහ රාජ්‍ය ඇමැති දිලුම් සමඟ සාකච්ඡාවෙන් පසු එකඟතාවක
මේ වන විට වසා දමා ඇති කටාන අල් ඔබාදානි ඇපරල්ස් සමාගම තවදුරටත් මෙරට ඇඟලුම් නිෂ්පාදන හා අපනයන කර්මාන්තයේ නියැළීමට එකඟතාව පළ කර තිබේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා සහ අල් ඔබදානි ඇපරල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කල්ෆාන් අල් ඔබදානි, යාසිර් ලහීර් මහත්වරුන් අතර පෙරේදා (10) පැවැති සාකච්ඡාවේදී එම එකඟතා ඇති කරගෙන තිබේ.
විදේශ ආයෝජකයකු මොන අයුරින් හෝ අපහසුතාවට පත් වූයේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සමාවද ඇයැද සිටින බවත් රාජ්‍ය ඇමැතිවරයා එහිදී පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
මේ සාකච්ඡාවේදී අනාවරණය වූයේ මේ සිද්ධිය පමණක් හුෙදකලා සිද්ධියක් නොවෙයි. ගතවූ වසර 8 පුරා මෙවැනි ගැටලුවලට මේ සමාගමට මුහුණදීමට සිදු වී තිබෙනවා. එහෙත් ඔවුන් මේ පිළිබඳව පැමිණිලි කර ඇත්තේ පසුගිය 30 වැනිදායි. මින් ඉදිරියට කිසිම ආයෝජකයකුට මෙවැනි ගැටලු ඇති නොවීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකසනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරියකුද සම්බන්ධ බවට පෙනී යනවා. මේ වන විටත් ඒ සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම පරීක්ෂණ නිම වූ පසු ඔහුගේ ලිපි ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී වෙනමම පරීක්ෂණයක් කරන ලෙස මම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට දන්වා තිබෙනවා. මේ සමාගමේ නිෂ්පාදන ගුවන් මඟින් ප්‍රවාහනය කරන භාණ්ඩ බැවින් කටුනායක ගුවන්තොටුපොළට ආසන්නයේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහිදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න