ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ තිදෙනකුගෙන් සමන්විත සංවිධානාත්මක කල්ලියක් සොරා ගත් යතුරුපැදි අටක් සමඟ වෙන්නප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 11,300ක්, වෙන්නප්පුව සහ කටුනායක ප්‍රදේශවල නිවෙස්වලින් කොල්ලකන ලද රන් භාණ්ඩ හා වටිනා ජංගම දුරකතන 3ක් ද පොලිසි භාරයට ගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන් යතුරුපැදි සොරකම් කර කටුනායක සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල හෙරොයින් අලෙවි කරන ස්ථානවලට ලබා දී හෙරොයින් ලබා ගන්නා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, තවත් ප්‍රදේශ ගණනාවකින් ඔවුන් මෙසේ යතුරුපැදි සොරා ගෙන ඇති බව ද තහවුරු වී ඇත.
පොලිසිය කියා සිටියේ, ඩුබායි හි වෙසෙන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මහේෂ් සහ ඔහුගේ සමීප ගෝලයකු වන සුන්තා නමැත්තා සමඟ සමීප සබඳතාවක් පවත්වා ගනිමින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ මෙම ජාවාරම් සිදු කරන බවට පොලිසිය විසින් සිදු කරන ලද දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇති බවයි.
අධිබල වේගයෙන් ගමන් ගන්නා FZ වර්ගයේ යතුරුපැදි ද ඔවුන් මෙසේ සොරා ගත් යතුරුපැදි අතර වේ. මහේෂ් සහ සුන්තාගේ අනුදැනුම යටතේ මෙම යතුරුපැදි සොරාගෙන ඇති බවත්, ඒවා කිසියම් කොල්ලකෑම් හෝ මනුෂ්‍ය ඝාතන සඳහා යොදා ගැනීමට සොරකම් කරන ලද ඒවා දැයි සැක කරන බවත් ඒ සම්බන්ධව තොරතුරු ලබා ගැනීමට පොලිස් කණ්ඩායම් යොදා විමර්ශන කටයුතු සිදු කරන බවත් වෙන්නප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රනුක විජේසිංහ මහතා පැවසීය.
වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස ගමන් ගත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන පැදිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී යතුරුපැදියට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අසමත් වීම මත සිදු කරන ලද විමර්ශනවලදී එම යතුරුපැදිය මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවට අනාවරණය වී තිබේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදු කළ විමර්ශනවලදී තවත් සැකකරුවන් දෙදෙනකු සහ කටුනායක ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදි තුනක්, මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදි තුනක් හා දන්කොටුව ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මිහිර විජේසේකර - මාරවිල සමූහ
නව අදහස දක්වන්න