අපි හරිම අපේක්ෂකයා වේදිකාව‍ට ගේනවා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි | දිනමිණ

අපි හරිම අපේක්ෂකයා වේදිකාව‍ට ගේනවා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

එළැඹෙන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හරිම අපේක්ෂකයා වේදිකාගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

මීට පෙර ද ජනාධිපතිවරණ ප්‍රකාශයට පත් කළ පසුව තම අපේක්ෂකයා වේදිකා ගත කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, මැතිවරණය පැමිණෙන තෙක් ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතා කිරීමට සූදානම් නැති බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු අපේක්ෂකයා වේදිකාගත කිරීම පක්ෂයේ ක්‍රියාමාර්ගය බවත් පෙන්වා දුන්නේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

“දේශපාලනයේ පසුගිය කාලය පුරාවටම දැක්ක දේ තමයි දේශපාලනඥයාගේ ප්‍රධානම අරමුණ වෙන්නේ දේශපාලනික වශයෙන් කොහොමද රටේ බලය අල්ලන්නේ කියන එක. හැබැයි අවාසනාවකට සමහරුන්ට ආණ්ඩු බලය ගත්තාම ආණ්ඩුව කරගෙන යන්නේ තමන් කියන කාරණාවත් අමතක වෙලා යනවා. දැන් අප තරුණ මන්ත්‍රීවරු විදිහට අපේ යම් යම් කණ්ඩායම් සමඟ එකට ඒකරාශී වෙලා පුද්ගල චරිතත් සමඟ අනුබද්ධ වෙලා දේශපාලන ක්‍රියාදාමයන්වල කටයුතු කළා.

හැබැයි අප පක්ෂ මූලික කරගෙන අදටත් ඒ කටයුතු කරගෙන යනවා. ජනතාව දැන් ඉන්නේ ආණ්ඩු කරන්නේ කවුද, ජනාධිපති කවුද කියන කාරණාවට වඩා රටට වැඩපිළිවෙළක් දෙන්නේ මොන කණ්ඩායම ද කියලා බලාගෙන. රටේ ජනතාව තරුණ ප්‍රජාව වෙනස් වන විට දේශපාලන පක්ෂ වෙනස් වෙන්න බැරි නම්, දේශපාලන නායකයන්ට වෙනස් වෙන්න බැරි නම් මේ රටට සෙතක් වෙන්නේ නෑ කියලා තමයි මට කියන්න වෙන්නේ. ඒ වගේම ආණ්ඩුවක වැඩ කරනකොට අපේ ඇමැතිවරු හැම කෙනාමත් තමන්ගේ විෂය පථය තේරුම් අරගෙන වැඩ කළොත් හොඳයි.”

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න