බොහෝ රටවල ක්‍රීඩකයන්ට විශ්‍රාම වැටුප් හෝ එකවර රක්ෂණ ගෙවීම් ලැබෙන්නේ නැත. එබැවින් ක්‍රීඩකයකු ක්‍රීඩා දිවියේ ලබා ගන්නා ජයග්‍රහණ තුළ උපයා ගන්නා මුදල් මනා ලෙස කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වේ.
බොට්ස්වානා ධාවන ශූර නයිජෙල් අමෝස් තම පවුලේ සාමාජිකයන් ජීවත් කිරීමේ අරමුණින් 2012 ඔලිම්පික් උලෙළේදී තමන් දිනාගත් රිදී පදක්කම විකුණා දැමීමට තීරණය කිරීමට සූදානම් වන පුවතක් වාර්තා විය. එම තීරණයට ක්‍රීඩකයා එළැඹ ඇත්තේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය විසින් ඔහුට තරග තහනමක් පැනවීමෙන් පසු එයට එරෙහිව ආරම්භ වූ නඩුවට මුදල් වියදම් කිරීම නිසා බව සඳහන් විණි. එම නඩුවට වැය කළ විශාල මුදල හේතුවෙන් බරපතළ ලෙස දුප්පත්වී ඇති බවත්, ජීවත් වීම උදෙසා පදක්කම විකුණා දැමීම හැර දැන් වෙනත් විකල්පයක් නැති බවත් නයිජෙල් අමෝස් සඳහන් කළේය.
“මේ වෙලාවේ මගේ එකම ආයෝජනය එහෙමත් නැතිනම් විශ්‍රාම වැටුප තමයි 2012 ඔලිම්පික් රිදී පදක්කම. පදක්කම විකුණා උපයන මුදලින් මා සහ මගේ පවුල නඩත්තු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මූල්‍ය උපදේශකයන්ගෙන් තොරතුරු ලබා ගත්තා” නයිජල් අමෝස් මාධ්‍ය වෙත පැවසීය.
පසුගිය වසරේ ආරම්භ වූ තහනම් උත්තේජක නඩුව “මූල්‍යමය වශයෙන් කාන්දු වූ ක්‍රියාවලියක්” බව නයිජෙල් අමෝස් පවසන අතර, නඩුව වෙනුවෙන් නීතිමය සහ ගමන් ගාස්තු ලෙස අමෙරිකානු ඩොලර් 67,000ක් පමණ මේ වන විටත් වැය වී ඇති බව ගණන් බලා තිබේ.
2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උලෙළේ මීටර් 800 ඉසව්වෙන් නයිජෙල් අමෝස් රිදී පදක්කම දිනා ගත් අතර, එම පදක්කම බොට්ස්වානා නාමය ඉදිරියේ සටහන් වූ පළමු ඔලිම්පික් පදක්කම ලෙස ඉතිහාසගතවී ඇත.
එම පදක්කමේ වටිනාකම බොට්ස්වානා පුලා මිලියන 4.5ක් වන අතර, එය අමෙරිකානු ඩොලර් 340,000කට ආසන්න වටිනාකමක් වනු ඇතැයි අමෝස් මාධ්‍ය වෙත පැවසීය.
නෙට්ෆලික්ස් සමඟ ඔහු වාර්තා චිත්‍රපටයක් රූගත කොට ඇති අතර, එය නිකුත් කිරීමෙන් පසු පදක්කමේ වටිනාකම පුලා මිලියන 7.5 දක්වා ඉහළ යා හැකි බව අමෝස්ගේ විශ්වාසය වේ.
අමොස් ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යාමට කිසිදු සැලසුමක් නොමැති අතර, 2025 ගිම්හානයේදී ඔහුගේ තහනම අවසන් වූ පසු යළි ඔහුගේ ධාවන දිවිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ලෝක තහනම් උත්තේජක ඖෂධ වට්ටෝරුවේ ඇති තහනම් උත්තේජක ඖෂධයක් ලබා ගැනීම සම්බන්ධ වරද පිළිගැනීම හේතුවෙන් නයිජෙල් අමෝස්ට වසර තුනක තහනමක් පැනවිය. එම ඖෂධය ලබා ගත්තේ ශරීර මේදය පරිවෘත්තීය කරන ආකාරය වෙනස් කිරීමට බව නයිජෙල් අමෝස් පිළිගත්තද, එම ප්‍රකාශයෙන් ඔහුට සහනයක් නොලැඹිණි.
ප්‍රින්ස් ගුණසේකර
නව අදහස දක්වන්න