අයිපීඑල් තරග බිමේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව තම නමට ලියා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 21 හැවිරිදි යොවුන් පිතිකරු යශස්වි ජයිස්වාල් පෙරේදා සමත් විය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවති තරගයේදී ජයිස්වාල්ගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගැනීමට රාජස්ථාන් පිලට හැකි විය.
තරගාවලියේ 56 වැන්න ලෙස පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා පිල ලකුණු 149කින් නතර කළ රාජස්ථාන් ක්‍රීඩකයෝ ඕවර 13.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
රාජස්ථාන් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු රැස් කිරීමට පෙර ජොස් බට්ලර් (0) දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 30ක් විය. ඉනිමට වේගවත් ආරම්භයක් දුන් යශස්වි ජයිස්වාල් වේගවත් පිතිහරඹයක නිතර වෙමින් නොදැවී ලකුණු 98ක් රැස් කළ අතර, ඔහුට අනගි සහායක් දුන් නායක සංජු සැම්සන් නොදැවී ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.
මුහුණ දුන් මුල් පන්දු 13න් ලකුණු 50 වාර්තා කිරීමට ජයිස්වාල් සමත් වූයේ අයිපීඑල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරමිනි. හතරේ පහර 6කින් සහ හයේ පහර 3ක් ඊට එක් විය. ඒ සමඟ ලෝකේෂ් රාහුල් සහ පැට් කමින්ස් පන්දු 14කින් රැස් කර තිබූ අයිපීඑල් වේගවත්ම අර්ධ ශතක වාර්තාව බිඳ වැටිණි.
ජයිස්වාල්ගේ අර්ධ ශතකය විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය ලෙස ද වාර්තා විය. ඔහු ඉනිමේ පළමු ඕවරයේදී ලකුණු 26ක් රැස් කිරීම කැපී පෙනුණ අතර, ඉනිම නිමා වන විට හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟ පන්දු 47කට මුහුණ දී තිබිණි. සැම්සන් පන්දු 29කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් එල්ල කළේය.
මේ අතර කොල්කටා පිලට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චාහල් අයිපීඑල් වාර්තාවක් බිහි කළේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙමිනි. මේ තරගයේදී ලකුණු 25කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ ඔහු අයිපීඑල් ඉනිම 142කදී මේ දක්වා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 187කි. මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේද චාහල්ය. ඔහු මීට පෙර තරගවලදී කඩුලු 183ක් බිඳ දමමින් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් ලෙස ඩ්වේන් බ්‍රාවෝ සමඟ සම තත්ත්වයේ පසු විය.
වෙන්කටේෂ් අයියර් පන්දු 42කින් ලකුණු 57ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. නිතිෂ් රානා ලකුණු 22ක් රැස් කළ අතර, චාහල්ට අමතරව ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.
මේ ජය සමඟ අයිපීඑල් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට රාජස්ථාන් පිල සමත් වූ අතර, කොල්කටා පිල 7 වැනි තැන පසු වෙයි.
නව අදහස දක්වන්න