ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1කින් විස්සයි20 තරගාවලිය ජය ගනිති | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2-1කින් විස්සයි20 තරගාවලිය ජය ගනිති

නිලක්ෂි - හර්ෂිතාගෙන් අර්ධ ශතක

 

නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා මාධවී රැස්කළ විශිෂ්ට අර්ධ ශතක හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 44ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු වූයේ 2-1ක් ලෙසිනි.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 114ක් පමණි.

නායිකා නිගාර් සුල්තානා පන්දු 33කින් ලකුණු 31ක් රැස් කරමින් බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, සෝභනා මොස්ටරි ලකුණු 30ක් රැස් කළාය. ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ සෙසු පිතිකාරිනියන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී සහ කාව්‍යා කාවින්දි කඩුලු 2 බැගින් දවා ගත්හ.

නායිකා චමරි අතපත්තු සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විශ්මි ගුණරත්නට (2) මේ තරගයේදීත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර, මුළු ලකුණු 16දී ඇය දැවී ගිය අතර, ලකුණු 43ක් වෙද්දී චමරිගේ ඉනිම ලකුණු 32කින් නතර විය. පන්දු 23කට මුහුණ දුන් ඇය හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කළාය. තවත් ලකුණු 13ක් එක්වීමෙන් පසු අනුෂ්කා සංජීවනී (4) දැවී ගිය අතර, ඒ වන විට මුළු ලකුණු සංඛ්‍යාව 56ක් විය. අනතුරුව අංක 3 පිතිකාරිනි හර්ෂිතා මාධවීට එක් වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 102ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූවාය. අංක 5 පිතිකාරිනිය වූ නිලක්ෂි ඊයේ සිය මංගල විස්සයි20 අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 63ක් රැස් කළ අතර, හර්ෂිතා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51කි. එය ඇයගේ සිවුවැනි විස්සයි20 අර්ධ ශතකය විය. හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කළ නිලක්ෂි සිය ඉනිම වෙනුවෙන් පන්දු 39ක් පමණක් වැය කළ අතර, හර්ෂිතා පන්දු 42කදී හතරේ පහර 6ක් එල්ල කළාය. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිලක්ෂි ද සිල්වා සම්මාන දිනා ගත්තාය.

ශ්‍රී ලංකාව - 158/3 (ඕවර 20) නිලක්ෂි ද සිල්වා නොදැවී 63, හර්ෂිතා මාධවී නොදැවී 51, චමරි අතපත්තු 32

බංග්ලාදේශය - 114/7 (ඕවර 20) නිගාර් සුල්තානා 31, සොභනා මොස්ටරි 30 (ඉනෝකා රණවීර 17/2, උදේශිකා ප්‍රබෝධනී 17/2, කාව්‍යා කාවින්දි 28/2)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න