කට්ට පැන්න රටක තුනේ කට්ටේ ඩෙංගු | දිනමිණ

කට්ට පැන්න රටක තුනේ කට්ටේ ඩෙංගු

මේ විදිහට ගියහොත් පාරේ ඇවිදින්නට වෙන්නේ මුහුණ පමණක් යන්තම් පෙනෙන ‘හිමේ අඳින’ ඇඳුමක් ඇඳගෙන සහ හිස කුඩිච්චියක් දමාගෙනය. එක් අතක, වයිරස් ජාති බර ගාණක් සහිත, උණව්‍යාධි සහ කැස්ස වැනි ලෙඩරෝග පොදියකි. අනිත් අතින්, ඇහුවාම ඔළුව නරක් වෙන කතාය. එවන් කතා වැඩි වේලාවක් මතකයේ රැඳෙන්නේ නැත්තේ, තියෙන ප්‍රශ්න ‘විටින් විට උඩ මතුවෙන’ නිසාය. උකස් කඩේ කොළය දිහා බලන වාරයක් පාසා, පවුමේ ගාණ පමණක් නොව, මඟුල් දවස ද මතක් වන්නේය. ඒ විස්තරේ විනාඩි ගාණක් ඔළුවේ කරක් ගසන විට, හවුසින් ලෝන් එකේ වාරිකය ද මතකයට ඇමිණී එන්නේය. තව ඩිංගකින්, පොඩිවුන්ගේ වෑන් ෆීස් සහ ටියුෂන් ගාස්තුය. ඔය වටේ කැරකී, ඇස උකස් කොළයට යන්නේ පොලී බැඳ, තව ටික කාලයක් උකස බැඳ තබා ගන්නේ කෙසේද යන්න සඳහා විසඳුමක් සෙවීමටය. මාසෙ මැද්දේ සිට ‘පොඩි කෑලි’ කඩා ගත්තවුන්ගේ මුහුණ ද බලන්නට බැරිය. අතේ සල්ලි නැති වෙනකොට ළඟ ඉන්න එකාගේ සිට වැඩිය නාඳුනන එකාගේ ද අවශ්‍යතාවය තදින් දැනෙන්නේ, දවසේ ගේම ගහ ගැනීම සඳහා ‘දාහ දෙදාහ’ ඕනෑ වූ විටය. එහෙම නැතිනම් අපිට ‘කිසිම කෙනෙක් වුවමනා නැත. අපේ හදිස්සියකට ඔය එකෙක්වත් එන්නේ නැත’.

ඩෙංගු දැන් අපිට අනින්නේ, නොම්බර තුනේ කට්ටෙනි. මේ ගණයේ ඩෙංගු රෝගීන් තිස් එක් දාහකට වඩා ළඟ ළඟ වාර්තා වී තිබුණි. මදුරුවා සමඟ ගේම් එක ලෙහෙසි නැත. ඒවා මුහුණට මුහුණ කළ නොහැකිය. අපේ රටේ ජනප්‍රියම ගැහිල්ල වෙන ‘එකට වාසය කර යන්නට දී පස්සෙන් ගසා’ මදුරුවා මර්දනය කළ නොහැකිය. නැතිනම් ‘හොඳට කතා කර කර,වෙන එකෙක් ලවා’ද මදුරුවාට ගැසිය නොහැකිය.‘මොත්තේ දමා වැඩේ අරගෙන, පස්සේ වෙන කේස් එකකින්’ ද මදුරු වදේ තුරන් කළ නොහැකිය. මේ වගේ වට වංගු ගසා, මිනිසුන්ට ගැසිය හැක්කේ මුත්, මදුරුවා මර්දනය කළ හැක්කේ සාමූහික ප්‍රයත්නයක් ලෙසය. අර විදිහට මදුරුවන් මර්දනය කළ හැක්කේ නම්, මේ වෙන කොට ඉන්දියාවේ මදුරු කරදරයද අපේ වුන් නිමා කර හමාරය.

කස්ත්‍රෝ එක්සත් ජනපදයේ ජනාධිපතිවරු දස දෙනකු දුටුවේය. ඒ සියලු ජනාධිපතිවරු දැක්කේ කස්ත්‍රෝ පමණකි. විප්ලවයෙන් පසු කියුබාවට සිටි ලොකුම හතුරා එක්සත් ජනපදයය. ඒ එළියේය. කියුබාවේ මිදුල් හි සහ වහල උඩ තවත් හතුරෙක් විය.ඒ හතුරා ‘රූන්... රූන්...’ ගාන්න ගත්තේ විප්ලවයෙන් වසර 17ක් ගිය තැනය.1977 වර්ෂයේ ඩෙංගු වසංගතය කියුබාවේ ‘ලෙයට’ අභියෝග කළහ. එම වර්ෂයේ රෝගීන් 4,77,000 මුළු රටෙන්ම වාර්තා විය. රෝහල් ආදී පහසුකම් ජනතාව වෙත උරුම කර දෙන විප්ලවීය ජයග්‍රහණයේ පළමු අදියරේදී වූ, මේ අලකලංචිය ගමක් ගමක් ගානේ ලෙඩ කරන්නට සමත් විය. ඊළඟ විප්ලවය සඳහා කියුබාව සැරසුනේය. රටේම වහලවල ඇති වැහි පීලි ගලවා දැමීමට රජය යෝජනා කළේය. කතා දෙකක් නැතිව ජනතාව රජය සමඟ විය. එතැන් පටන් ඩෙංගු සහ එක්සත් ජනපදය යන හතුරෝ දෙදෙනාට එරෙහිව කියුබාව නැඟී සිටියේය. එය ඩෙංගු නැසීමක් පමණක් නොවීය. ප්‍රජා සෞඛ්‍ය ඒකක ඉදි වුණේය. සෑම පවුල් 120කටම වෛද්‍යවරයෙකු බැගින් ඇති කරමින්, ගමේ සෞඛ්‍ය තත්ත්වය එතැනින්ම පරීක්ෂාවට ලක් කළේය.

මේ රටක් ඩෙංගු අර්බුදය ජය ගත් ආකාරයය.

මේවා, මේ රටේ කරන්නට ගියා නම් මුලින්ම වෙන්නේ වැහි පීලි ගලවන්නට යෝජනා කළ එකාට උසාවි යන්නටය. ඊට පස්සේ ඌ පරණ යකඩකාරයන්ගෙන් ජරාව කන බවට වන චෝදනාවක් සහ ඒ ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයකි. ‘අන්තර් හාඩ්වෙයාර් සංගමය සහ අන්තර් වහල් සාදන්නන්ගේ සංගමය එක්ව මේ තීරණයට එරෙහිව කොළඹ ලෝටස් පාර දක්වා විරෝධතා පෙළපාළියකින් පැමිණෙන්නේ, ඒ අතරේය. ලංකා ගුරු සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ‘මළ බණ්ඩලය’ ද මේ සටනට එක් වෙන බව, ස්ට්‍රයික්ටාලින් සහ මංගච්ඡා කොලුවා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකශ කරති. ‘වහල යනු හිසය. හිස, හිස් කළ විට වහල්ය.’ යනාදී වචන එක් කර කොල්ලුපිටියේ වෙරළ තීරයේ තානාපතිලා නිකුත් කරන ට්විටර් පණිවිඩ ඊළඟටය. වහලක් ඔළුවේ ගසාගෙන, වැහි පීල්ලක් දෙපාරංශයේ රඳවාගෙන, චූටි කලිසමක් කෑල්ලක් ඇඳගත්, රැවුල වවාගත් තඩියෙක්, ගාලු පාර මැද්දේ ලයිට් කණුවකට හේත්තු වී, පළ කරන විරෝධයක් ද මේ අතරේ, ලයිව් එකක් ලෙස විකාශය වේ.

උගේ හිසේ කළු පටියක ‘වහල සහ වහලා’ ලෙස ලියූ වැකියකි. ‘ෆ්‍රීඩම්ෆොරුෆ්’ නමින් හෑෂ් ටැග් ගසා, මූලික මිනිස් අයිතියක් වන නිවාස අයිතිය අහිමි කිරීමට එරෙහිව, ලෝකයාට සමාජ මාධ්‍යයෙන් විරෝධය පළ කරන ව්‍යාපාරයකි. යූ ටියුබ් ‘ඉරට්ටා’ ප්‍රමුඛ සමාජ මාධ්‍ය කයිකාරයන් අර නෝනා හමුවී, එකට හිඳ ෆොටෝ ගනිමින්, වැහි පීලි සටන වෙනුවෙන් එක් වන්නේ ඊළඟ අංගයටය.

මේවා දැක ඩෙංගු මදුරුවෝ තුනේ කට්ට ද අරන් රටින් පැන්නොත් මිස, ඩෙංගු නැති කිරීමක්, කියුබාවේ වගේ මෙහෙ නම් කළ නොහැකිය. රිළවු ටික ලෑලි ඉරාගෙන, ඩිංගි බෝට්ටු හදාගෙන, චීනයට ගියා නම්, ඒ රැහේ එකෙක් දෙන්නෙකුට, මේ වෙනකොට චීන රිළවුගෙන් පැටවු ද හම්බුවෙලාය.

මේ රටේ පාරේ යන එකා, ඌ වැරැද්දක් කරලා කුණුහරුපයෙන් බනින්නේ අනිත් එකාටය. අනිත් එකා ද නහරකාරයෙක් නම් වටේ යන උන්, වැඩට යන්නේ හොඳ ‘ඇක්ෂන් ෆිල්ම් කෑල්ලක්’ ද බලාගෙනය. ඒ වගේ දෙයක්වත් මැනේජ් කරන්න බැරි අපේ සමාජයට ඩෙංගු තුනේ කට්ටෙන් නොව ඇලිස් කටුවෙන් ඇන්න ද ගාණක් නැත.

 

නව අදහස දක්වන්න