ලොව පුරා තරුණ පරපුර අතර අතිශයින්ම ජනප්‍රිය ‘ටික් ටොක්‘ චීන යෙදවුම දත්ත එක්රැස් කිරීමේ අරමුණ වෙනුවෙන් භාවිත කරන බවට ඇතිකරගත් සැකය මත අමෙරිකාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ වසර කිහිපයක සිටය. ඊයේ වන විට එහි බරපතළම තත්ත්වයට මුහුණදීමට ටික්ටොක් අමෙරිකාවේ ප්‍රධාන විධායක ෂූ සී චූට සිදු වී තිබිණි. ඔහු පළමු වතාවට අමෙරිකා කොන්ග්‍රසය හමුවට කැඳවනු ලැබූ අතර, ටික් ටොක් යෙදවුම මඟින් අමෙරිකාවේ සිට චීනයට ඔත්තු සැපයුයේ දැයි නැද්ද යන චෝදනාවට අදාළව සාක්ෂි දීමට ඔහුට සිදුවී තිබිණි. ටික් ටොක් යෙදවුම සෙසු රටවල මෙන්ම අමෙරිකාවේ තරුණ පරපුර අතරත් දැඩි උන්මාදයක් ඇතිකර ඇත්තේ අද ඊයේක සිට නොවේ. එය මේ වනවිට එරට තරුණ පරපුරට නැතිවම බැරි ඔන්ලයින් මෙවලමක් බවට ද පත් වී තිබේ. එහෙත් මීට වසර කිහිපයකට පෙර සිට අමෙරිකානු රජයේ දැඩි අවධානය ඊට යොමුවී තිබුණේ ටික්ටොක් යෙදවුම ඔස්සේ අමෙරිකාවේ අතිශය වැදගත් දත්ත වාර්තා ඒ හරහා චීනයට ලැබෙන බවට පළ වූ සැකය මතය.
සාක්ෂි විමසීමේදී ටික් ටොක් ප්‍රධාන විධායකයා මුලින්ම සඳහන් කර ඇත්තේ මෙය අමෙරිකාවේ තරුණ පරපුර අතර තොරතුරු බෙදා ගැනීමේ යෙදුම දැඩි අවධානයට ඇද දැමීමක් බවය. එමෙන්ම එය ටික් ටොක් යෙදවුමේ හිමිකාරිත්වය දරන බයිට්ඩාන්ස් සමාගමේ ද මතය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අමෙරිකා කොන්ග්‍රසයේ අවධානය යොමුවී ඇත්තේ ටික් ටොක් සහ චීනය අතර ඇති සම්බන්ධතාව කවරේ දැයි දැන ගැනීමටය. එය එක්රැස් කරන දත්ත හුවමාරු කරන්නේ කවර පුද්ගලයන් සමඟ දැයි දැන ගැනීමටය. එබැවින් ටික්ටොක් ප්‍රධාන විධායක ෂූ සී චූට ප්‍රශ්න වැලකට පිළිතුරු සැපයීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනිත් අතට ටික් ටොක් යෙදවුමට එල්ල වී ඇති මාධ්‍යවේදින් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු දත්ත එක්රැස් කිරීමේ චෝදනාව දැනටමත් ඔහු පිළිගෙන ඇති බැවින් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. ඔහු එසේ මාධ්‍යවේදින් පිළිබඳ ඔත්තු බැලුවේ මන්දැයි කොන්ග්‍රසය නැඟූ චෝදනාවට ඔහුට පිළිතුරු දීමට සිදුවී තිබිණි. එපමණක් නොව ටික් ටොක් යෙදවුමට ගබඩා වන අමෙරිකානු දත්ත චීන රජයට අත්පත් කර ගත හැකි දැයි පිළිතුරු දීමට ප්‍රධාන විධායකට සිදුවී තිබිණි. පරිශීලක දත්ත ආරක්ෂාකාරි බවත්, චීන රජයට ඊට ළඟා විය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළද චීනය සමඟ දැනටමත් රාජ්‍යතාන්ත්‍රිකව අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් අමෙරිකාවේ කොන්ග්‍රසය එය පිළිගැනීමට සුදානම් නොවීය.
කෙසේ වුවත් ටික් ටොක් යෙදවුමේ හිමිකාර සමාගම විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම ප්‍රධාන විධායක නිලධාරියා අමෙරිකානු කොන්ග්‍රසය හමුවේ නිර්භීතව පෙනී සිටි බවය. එමෙන්ම ඔහු වඩාත් විශ්වාසනීයත්වයකින් යුතුව පිළිතුරු සැපයූ බවත්ය.
අමෙරිකාවේ දේශපාලනයට එරට ක්‍රියාත්මක වන ටික් ටොක් යෙදවුම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි ප්‍රධාන විධායක නිලධාරියා කොන්ග්‍රසය හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සැබෑව එය වූවත් ඊට පදනම් වූ තොරතුරු හා සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට ටික් ටොක් ප්‍රධාන විධායක නිලධාරියාට හැකි නොවූ බවත් වැඩිදුරටත් වාර්තා විය.
කැලුම් රොෂාන්ත
නව අදහස දක්වන්න