කොල්ලකරු දුම්වැටියක් ගන්න ඇවිත්
සොරා ගත් යතුරු පැදියකින් පැමිණ බිළිඳෙකු අත දරා සිටි ගැබිනි මවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පළා ගිය පුද්ගලයකු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි.
පලාගිය සැකකරු පැමිණි යතුරුපැදිය පොල්ගස්ඕවිට වෑතර රෝහල පිටුපස කැලෑබද පෙදෙසක දමා ගොස් තිබියදී පසුව සොයාගත් බව පොලිසිය කියයි. යතුරුපැදි අංකය ඔස්සේ විමර්ශනය කිරීමේදී එම යතුරු පැදිය දෙහිවල පුද්ගලයකුට අයත් එකක් බවත් එහි හිමිකරු ගල්කිස්ස ප්‍රදේශයට ගොස් මහ මග නවතා තිබියදී සොරාගෙන ගොස් තිබු එකක් බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
මත්තෙගොඩ කුඩමාදූව ප්‍රදේශයේ නිවසකට හොරණ ප්‍රදේශයේ පදිංචි ඥාති කාන්තාවක් පැමිණ තිබූ අතර පසුව ඇය නිවස ඉදිරිපිට ඇති අලෙවි සලට ගොස් එහි සිටි ඥාති දියණියක සමග බිළිඳෙකු ද අත දරාගෙන කතාබහ කරමින් සිට තිබේ. එම අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් හිස් වැසුමක් පැළද ගත් පුද්ගලයකු යතුරු පැදියකින් පැමිණ වෙළඳසල තුළට විත් දුම්වැටියක් මිලදීගෙන ඉන් පිටව ගොස් මද වේලාවකින් නැවත පැමිණ මෙම කාන්තාවගේ ගෙළ බැඳි පවුම් එක හමාරක පමණ වටිනාකමින් යුත් රන්මාලය කොල්ලකා පලා ගොස් තිබුණි.
එම අවස්ථාවේදී කලබලයට පත්වූ ගැබිණි කාන්තාව අත දරා සිටි බිළිදා අතින් මිදී ඉදිරිපස වීදුරු වලින් සැකසූ කබඩ් එකක් මතට වැටෙන අතර එහිදී බිළිදා බිමට නොවැටි බේරෙන්නේ අනූ නමයෙනි. සිද්ධියෙන් පසුව සැකකරු යතුරු පැදියේ නැගී පලා යන අතර ඒ පසු පස දිව ගොස් පැදිකරුගේ ඇඟේ එල්ලි සැකකරු අල්ලා ගැනීමට ගැබිනි කාන්තාව උත්සාහ දැරුවද එය ව්‍යර්ථ වීමෙන් කාන්තාව බිම වැටී සුළු තුවාල ලබා තිබේ.
කොල්ල කන ලද රන් මාලයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකට ආසන්නය.සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක ය. සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්(62371)සරත්, පො.කො (24874) බණ්ඩාර,(70285) විතානගේ ඇතුළු නිලධාරිහු ඉදිරි පරීක්ෂණ පවත්වති.
කොට්ටාව - ප්‍රදීප් කුමාර
නව අදහස දක්වන්න