රදැල්ල අනතුරින් දිවි අහිමි වූවන් වෙනුවෙන් කඩිනමින් වන්දි | දිනමිණ

රදැල්ල අනතුරින් දිවි අහිමි වූවන් වෙනුවෙන් කඩිනමින් වන්දි

නුවන් කොඩිකාර

අනතුරු වළකන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

නානුඔය රදැල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරින් ජීවිත හානි වූ පුද්ගලයන්ගේ පවුල් වෙත කඩිනමින් වන්දි ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වෙත උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ඇතුළු සංවිධාන සමඟ සාකච්ඡා කළ බවත් හැකි ඉක්මනින් වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවද ගුණවර්ධන මහතා කීවේය. රදැල්ල රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වලට වන්දි ලබා දෙන්නේ දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු අසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. බසයක ගමන් කළ යුතු මඟී සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ලංකා ගමනා ගමන කොමිසම බවත් ඒ අනුව ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද පත් කළ බව ඇමැතිවරයා කිවේය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ආයතනයේ සභාපති, හිටපු නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කර ඇති අතර කඩිනමින් මේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස කමිටුවට දැනුම් දුන් බවද පැවසීය. මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය, එච්.ආර්.පසිඳු, නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ඉන්දික හපුගොඩ, අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රීයානි හේවගේ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රථවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා, ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරාල මහත්ම මහත්මීහු මෙහි අනෙකුත් සාමාජිකයෝ වෙති.

නව අදහස දක්වන්න